Thursday, February 27, 2014

එකෝමත් එක දවසක-11

හිතට එකඟව කතා කලොත්, මට නම් මගේ විබාගය ගැන සැහීමකට පත් විය නොහැකි විය. මම පමණක් නොව, විබාගයට මාසයක් තබා නදී විසින් අත්හරිනු ලැබූ ලපයා ද හිටියේ තෝන්තු වී ගෙනය. බකයා හා ඇටයා නම් කැම්පස් යාමට සුදානම්ව බඩු මලු ඇසිරීමට පටන් ගත්තේ විබාගය ඉවරවූ දාට පසුවදා සිටය. බකයා නම් මෙඩිකල් කොලිජියේ මුල් කාලයේ වැඩ පහසු කරවන පංතියකට පවා යාමට පටන් ගෙන සිටියාය.

ලපයා හා මම සිදුකල බැරෑරුම් සාකච්චාවකට පසුව අප දෙදෙනා දෙවන වර ද  විබාගයට හිඳ ගැනීම පිණිස වූ පුනරීක්ෂණ පන්ති යාමට පටන් ගත්තෙමු. අප දෙදෙනාගේම මාපියන් නම් මෙයට කිසිම අදහසක් පල කිරීමට ඉක්මන් උනේ නැත.මගේ අසීමිත චිත්තප්‍රිතියටද, ලපයාගේ දරුණු වයිරයටද හේතු වෙමින් මගේ කුමාරිකා තොමෝද අප යන්නට පටන් ගත් සියලුම පන්ති වලට එකක් නෑර සහබාගි වුවාය. 


ලපයා මට සුද්ද සිංහලයෙන්ම පැහැදිලි කර දුන්නේ මොන කිරිල්ලිය ආවත් මෙවර නම් එක්සිත්ව විබාගය කල යුතු බවයි. මගේ හදවත එයට ඇහුම්කම් දීම ප්‍රතික්ෂේප කලද බුද්ධිය විසින් ඇඟවූ අනතුර නිසා මමද ඌගේ අවවාදය පිළිගත්තෙමි. මොනවා උනත් මගේ කුමාරි මට විස්වාසයි. කවදාවත් මා හැර වෙනත් කෙනෙකු සමග ඈ ආදරයෙන් වෙලෙන්නේ නෑ. විබාගය ඉහලින්ම පාස් වී A තුනක් ගත් මම ජයග්‍රාහී ලෙස ඈ වෙත ගොස් (රතුපාට රෝස මල් පොකුරක්ද සමගින්) මගේ ප්‍රථිපල ඇයට පවසන අයුරු මම හිතේ ඇඳ ගත්තෙමි. මම ඔයාට ආදරෙයි ඔයා මාව බඳිනවද. 

"යකෝ" ලපයාගේ හඬින් මගේ සිහිනය බිඳී ගියේය. " තෝ හිතන්නේ මොකක් ගැනද කියල මම දන්නවා. උඹට මම විබාගෙට කලින් බාගෙට කතාවක් කිව්වා. එකේ ඉතුරු ටිකත් නොකිව්වොත් තෝ මේ සැරෙත් විබාගේ අනාගන්නවා. වර හවසට මාත් එක්ක ගමනක් යන්න"
කොහෙද යන්නේ. අනික මම හිත හිත හිටියේ වෙන දෙයක් ගැනනේ
"තෝ මාව තම්බන්න එහෙම හදන්න එපා. තෝ එන්න ඕනේ මාත් එක්ක අද. ආවේ නැත්තන් මම ඔක්කොම ඇන්ටිට කියනවා" ලපයා උගේ අන්තිම තුරුම්පුව එල්ලය බලා දමා ගැසුවේය. මම යටත් උනෙමි. නිකම්ම නොව ඌට සුද්ද සිංහලෙන් දෙසා බෑමෙන් පසුව..

හවස තුනට පමණ මාව කැඳවාගෙන යාමට ලපයා පැමිණියේ උගේ අයියාගෙන් ඉල්ලා ගත් මෝට බයිසිකලයේය. මුළු මුණම වැසෙන ආකාරයට හෙල්මටය පැළඳ සිටි ඌ මටද ඒ ජාතියෙන්ම එකක් මොන දිපන්කරෙන් හෝ සොයාගෙන ඇවිත් තිබුණි.

යාලුවෙක් ගේ ගෙදර යන බවට අම්මාට සුපුරුදු බොරුව පැවසු මම බයිසිකලයේ පිටුපසට නැග්ගෙමි. ලපයාට ලැයිසොන් නැති මුත් ඌ අයියාගේ ලයිසොම හොරෙන් රැගෙන විත් තිබුණි. කියවන ඔබට මතක නම් ඒ දිනවල, එනම් මීට දශකයකට පමණ ඉහත මෙකල මෙන් පොලිස් මාමලා අඩියෙන් අඩිය ට සිටියේ නැත.

"තෝ මාව මරන්නද එක්කං යන්නේ කාලකණ්නියා. කියපිය අපි මේ කොහෙද යන්නේ කියල"

"බලන් හිටු. මම මේකට එක්කං ගියේ නැත්තන් නං තෝ මැරෙනවා තමයි. කොහෙද යන නැට්ටිච්චියෝ පස්සෙන් ගිහින්"

එදා ලපයා හා මම කතා කරපු විදිය පුළුවන් උපරිම ආකාරයට ශිෂ්ට සපන්නවා කිව්වොත් ඔන්න ඔහොමය. ඇත්ත වශයෙන්ම ලපයා උගේ වාග් මාලාවේ තිබූ අසන්ශික්ප්ත වදන් සියල්ලේම උපරිම ප්‍රයෝජනය ගත්තේ එදා බව මම වගකීමෙන් යුතුව කියනවාය. කොහොම නමුත් එදා ඌ මාව රැගෙන ගියේ මීගමුවේ තිබූ එක්තරා අතුරු පාරකටය. පාරවල් වලින් එහෙට මෙහෙට හරවමින් යන්නේ මොන තුත්තුකුඩියේ දැයි නිනව්වක් නැතිව මමද ඔහේ වාඩි වී සිටියෙමි. අවසානයේ අප නැවතුනු මංසල පිහිටියේ පාරේ අතිශයම පාලු තැනකය. මෙතැන් සිට මා මොන අකාරයෙන් කතා කලත් ලපයා නම් කටක් හෙල්ලුවේ නැත. උගේ දැන්වීම පරිදි මමද හෙල්මටය නොගලවාම සිටියෙමි. 


මෙලෙස පැය බාගයකට ආසන්න වෙලාවක් මගේ ගුණ වැයුම් හමුවේ ලපයා නොසැලී ම බලා සිටියාය. ටික වෙලාවකින් මෙන්න ඈතින් හිමිහිට පැමිණෙන දෙන්නෙක්.

මගේ හිත නොගැහුනා කිව්වොත් බොරුය. මොනවා උනත් මට මගේ කුමාරි විස්වාසයි. උස හැඩරුව ඒ වගේ කට්ටිය තව කොච්චරක් නම් ඉන්නවා ඇතිද. අන්තිම මොහොතේ පවා මම මගේ හිතට වංචා කළේ එහෙමය.

ටික වෙලාවක් බයිසිකලය අතපත ගාමින් සිටි ලපයා ජෝඩුව ලංවෙනවාත් සමගම මාත් සමගම බයිසිකලයට නැග ගත්තේය. මගේ හීනය ටික ටික බිඳ වැටෙන බව මටම තේරුණේය. ඒ නම් ඈම තමා

ලපයාට අවැසි වුයේ මට සත්ය පෙන්වා නුවණ පහල කරවන්නට වුයේ නමුදු, සිද්දිය දුටු පසු මට තව දුරටත් ඉවසගෙන සිටීමට නොහැකි විය. ඇය මට කවදාවත් ආදරෙයි කියා නම් නෑ තමා, ඒත් මං දිහාවට නෙත් හීසර එවමින්, මගේ අදහස ඈට අඟවද්දී පෙරලා කැමති බව අඟවමින් (මෙය සඳහන් කිරීම නම් මහා නරක පුරුද්දක් උනත් සඳහන් නොකොට බැරිය- මා දුන් තෑගී පිලි ගනිමින්)මොකද්ද ඈ මා සමග කල සෙල්ලම. බළලෙක් මරන්නට පෙර මීයෙක් සමග සෙල්ලම් කරනවා මෙන් ඈ මගේ කැමැත්තෙන් කුරිරු ප්‍රීතියක් අත්වින්දාවත්ද....

" අඩේ ලපයා තෝ දැන් මම කියන විදියට කරන්න ඕනේ හරිද. මෙච්චර වෙලා තෝ කියපු කියපු පදේට මම නැටුවනේ"

මට පිළිතුරු ලෙස පාලි සංස්කෘතයෙන් මා ඇමතු ලපයා, පසුව මා කියූ ලෙසටම මනාල යුවල ළඟ බයිසිකලය නැවත්තුවාය. යුවල නැවතී බියපත්ව බයිසිකලය මත සිටි දෙදෙනා දෙස බැලූ මුත් අපව අඳුන ගත්තේ නැත. මොන පඟර නැට්ටෙක් එක්කද මල හත්තිලව්වේ මේකී මේ යාලු වෙලා ඉන්නේ

මම හෙල්මටය ගලවා අතට ගතිමි. මුවපුරා හිනැහුනෙමි. " හානේ මේ ඔයානේ.. මම නිකමට නැවතිලා සැකේට බැලුවේ"

ඇය තිගැස්සුනාය. හරියට සන්නියක් හැදුනා වගේ..හොල්මනක් දැක්කා වගේ.. 


අවසානයේ විනාඩියකට පමණ පසු යන්තම් ඈ වචන පිට කරගත්තාය. " මම මේ පොඩ්ඩක් අයියත් එක්ක ඇවිදින්න ආව. ඕගොල්ලෝ කොහෙද මේ"

"අපි මේ යාලුවෙක් ගේ ගෙදර යන ගමන්. දැක්ක නිසයි නැවතුනේ.. පරක්කු වෙනවා ගිහින් එන්නම්. බායි.." මම ඇයට අත වනනවාත් සමගම බයිසිකලය ඉගිලුනේය.

ආපසු එන ගමනේදී ලපයා වචනයක්වත් කතා කළේ නැත. ඌ මාව ගෙදරින් බස්සවා ටික වෙලාවක් මදෙස බලා හිඳ " උඹ නම් එල කොල්ලෙක් මචං" කියා බයිසිකලය හරවාගෙන යන්න  ගියේය

මේ කතාව මෙතනින් ඉවර උනා නම් මං කැමතිය. නමුත් සැබෑ ජීවිතයේදී අපට ඕනෑ ආකාරයට සියලු දේ වෙන්නේ නැත. හරියට මේ සිද්දියෙන් පසු මම සති දෙකක් නිවසටම වී හිටියා වගේ.. මගේ කුමාරිය වෙනත් පුනරීක්ෂණ පන්ති වලට යන්න පටන් ගත්තා වගේ.. මට පළමු වර උසස් පෙළ ප්‍රතිපලය ලෙස C සමාර්ථ තුනක් ලැබුනා වගේ.. ලපයා එක විෂයකින් අසමත් වී අනෙක් දෙකටම B සමාර්ථ දෙකක් ගත්තා වගේ.. දෙවන වර විබාගයෙන් මම බලාපොරොත්තු වූ විශ්ව විද්‍යාලයටම තේරුණා වගේ.. මගේ වංචාකාර කුමාරිකාවත් ඒ විශ්ව විද්‍යාලයටම තේරුණා වගේ..

කැමති නම් විස්වාස කරන්න. මගේ ජීවිතය කැරකුණේ ඔන්න ඔහොමය. එම නිසා මේ කතාව තව ටිකක් දික් වෙනවාය. තව පොඩ්ඩක්..


Wednesday, February 26, 2014

ගෑණු ළමයින්ගේ වෙඩිම හා පිරිමින් වූ අපේ වෙඩිම


ගෑණු ළමයා: හයියෝ.. මට නම් පිස්සු වගේ.. කාටද අනේ ඩ්‍රෙස් කරන්න දෙන්න හොඳ?
අරය හොඳ නෑලු.
අපෝ එයාගේ මේකප් වැඩියිලු.
අයියෝ.. පිස්සුද එයාගේ මේකප් මදි.
අනේ එයාගේ ඔක්කෝම හොඳයි කොණ්ඩෙට ගහනවනේ අනේ මල් ගොඩක්.
හි හි  එයා පි කෙනෙක් නේද, මට හිනා යයි අනේ..

පිරිමි ළමයා: කොහෙටද අපි හනිමුන් යන්නේ..

ගෑණු ළමයා:පොටෝස් දෙන්නේ කාටද අනේ.. මට නම් පිස්සු වගේ
අපෝ ඒ ගොල්ලන්ගේ තියෙන්නේ එකම ෂොට්ස්
හයියෝ එයාගේ ඇසිස්ටන්ස් ලලුනේ එන්නේ..
එතන කලර්ස් අවුල් නේද..
හපෝ.. ඒගොල්ලෝ හරියට මහන්සි කරවනවලු..
එයා වෙලාවට ඇල්බම් එක දෙන්නේ නෑනේ..
හි හි එයා කුකුලලුනේ..

පිරිමි ළමයා: දවස් කීයක් අපි හනිමුන් යනවද?

ගෑණු ළමයා: ෆ්ලවර්ස් දෙන තැන ඩිසයිඩ් කරන එක තමා අමාරුම.. මට නම් පිස්සු වගේ
අපෝ එයාගේ හරි නෑනේ
ඔන්න ඔයා විකාර නම් කියන්න එපා හරිද.
ඒගොල්ලන්ගේ හරිම චිප් ලුකින් නේ
එයා කන්ටැකට් කරන්න මාර අමාරුලු නේ
අපෝ ගණන් වැඩියි. නොට් රීසනබල්
හ්ම් හ්ම්
හි හි හොඳ උනාට මනමාල පාටයි නේද..

පිරිමි ළමයා: ඇත්තටම අපි කොහෙටද හනිමුන් යන්නේ..??


Monday, February 24, 2014

එකෝමත් එක දවසක -10

තියෙන වැඩ මදිවාට මේ අවුරුද්දේ රොටියාට මගුලකුත් සෙට් වී ඇත්තේය. කවදා නමුත් ඉවරයක් කල යුතු නිසා ඒ මගුල ඉවරයක් කර දමන්න රොටියා අවසානයේ කල්පනා කළාය.ඒ නිසා බ්ලොගයට පොස්ටු දැමීමේදී අක්‍රමිතා සිදුවිය හැකිය. පාඨකයෝ තේරුම් ගනිත්වා!

සමහර ගෑණු ළමයින්ව තේරුම් ගැනීමට නම් මක් කලත් බැරිය.මා එසේ කියන්නේ ගිනිපෙනෙල්ලෙන් බැට කාපු නිසාය. කතාවේ මේ කාලය වනවිට මා සිතා සිටියේ ඇත්තටම ඈ මට කැමති බවයි. පාසල් යනවිට සමහර දවසට අම්මා හෝ තාත්තා මා අත තබන සල්ලි දහමරන් දාගෙන එකතු කරගෙන මේසය මත තැබිය හැකි හුරුබුහුටි සුරංගනා අනුරුවක් මගේ සුරන්ගනාවියට තෑගී දීම පිණිස මම මිලදී ගත්තෙමි. ඊළඟ සෙනසුරාදා වෙනදාට කලින්ම පන්තිය වෙත ගිය මම කල්මරුවේ සුරංගනාවිය එනතුරුය.

ඔය එන්නේ ඈ ඈත. පාවිගෙන. නැලවිගෙන ලැසි ගමනින්..

දුර තියාම මා සමග හිනැහීගෙන පැමිණි ඈ පොත් මිටිය ද රැගෙන කෙලින්ම මගේ මේසය ලඟට ආවාය.

මට සුබ පැතූ ඇයට මමද පෙරලා සුබ පැතුවෙමි. එදා අපි දෙදෙනා මොනවදෝ මහ ගොඩක් කතා කල බව මතක ඇතත් කතා කරපු කිසිම දෙයක් මට සිහියට නොඑන්නේ එදා මම තෑග්ගේ සිහියෙන් සිටි නිසා විය හැකිය.

මම: මම ඔයාට පොඩි දෙයක් ගෙනාවා. ගන්නවද මාත් එක්ක තරහ නැතුව..

මල් හිනාව සමගින් "මොකද්ද අනේ..?" ප්‍රශ්නය

මම: අරන් ඔයාම බලන්නකෝ

ප්‍රශ්නයට පිලිතුර වූ නිහඬතාවය ඈ කැමැත්ත ප්‍රකාශ කල ආකාරය යයි හිතාගත් මම මගේ අගනා තෑග්ග ඈ අත තැබුවෙමි. මට මතක විදියට ඒ තෑග්ග එකල රුපියල් තුන්සියයක් වැනි ගණනක් විය

එදා මම රුපියල් දහ දාහක පමණ වටිනා තෑග්ගක් ඈ අත තැබුවානම් මේ කතාව මීට වඩා වෙනස් විය හැකිව තිබූ බව මට තේරෙන්නේ දැන්ය.එලෙස වෙනස් වූ කතාවකට වඩා, මගෙන් ලද පළමු තෑග්ග ලෙස බස් ටිකට් එකක් සහ රුපියල් දෙසියයක පැන්ඩේක් තියාගෙන සිටින පෙම්වතියක් සමග දැන් ගෙවන සරල සුන්දර ජීවිතය වටින බව මම දන්නවාය. මුදල් හෝ තත්වය නිසා ලඟට එන පුද්ගලයන්ට වඩා ජීවිතය බෙදාහදාගෙන අපත් සමග ජීවිතය ගොඩනගා ගන්නා ආදරණීයයන් ලෝකයක් සමානය. හරියට අපේ මවුපියන් අප සමග ලෝකය ගොඩනගා ගත්තා වගේය. එවැනි පුද්ගලයන් කවදාවත්ම ඔබේ ජීවිතයේ දෙවෙනි තැනට ඇද දාන්න එපාය.

තෑග්ග විමසා බැලූ ඇගෙන් මා බලාපොරොත්තු වූ තරම් ප්‍රතිචාරයක් නම් ලැබුනේ නැත. හදවතක් අතේ තියන් උන් සුරංගනාවිය මගේ පණිවිඩය ඈට පවසන්න අසමත් වුවාවත්ද?

ලස්සනයි..

ලස්සන විතරමද? ඇයි දෙයියනේ පෙන්නේ නැත්තේ සුරන්ගාවිය අතේ තියෙන හදවත..

කොහොම නමුත් මට බලාපොරොත්තුවක් ඉතුරු කරමින් ඈ මගෙන් තෑග්ග බාර ගත්තාය. ඒකවත් මදෑ.. ඇටයා කියන පරිදි ඒකවත් මදෑ..

එකල (මෙකල මෙන්ම) මා අති දක්ෂ සිසුවෙකු නොවූ මුත්, කැම්පස් යන බවට ගුරුවරුන් බලාපොරොත්තු වී සිටි සිසුන් අතරට ඇතුලත් වී සිටියෙමි. මේ මනමාලකම් අස්සේ මගේ කල්පනා ශක්තිය ඇත්තටම පිරිහී ගියේය. ගණනක් හදන විටත් ඈ සමග ගොඩ නගන ලෝකය ගැන හීන ඔලුවට ආ බැවින් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී වෙනදා තරම් සාර්ථක නොවුනෙමි. ලපයා මට අවවාද කළේ මේ තත්වය යටතේය

ලපයාගේ අවවාදයෙන් පසුව ඇත්තටම මට මා ගැනම පොඩි පහේ ලැජ්ජාවක් ඇතිවිය. ජීවිත කාලයම දුක්විඳ උස්මහත් කල දෙමව්පියන්ගේ බලාපොරොත්තු කොහෙවත් යන කෙල්ලෙකු නිසා කැප කිරීමට ගිය ගොන් හරකාගේ මොලේ පාදන්න ලපයා එදා සමත් වුවාය

ඉතින් මම විබාගය ගැනද සිතන්නට පටන් ගත්තෙමි. දිව්‍යාංගනාව පොඩ්ඩක් පැත්තකට කර පාඩම් වැඩ කෙරෙහිද අවදානය යොමු කලෙමි. මා මේ කියන්නේ දිව්‍යන්ගනාව අමතක කළා කියා හෙම වරදවා හිතන්න එපාය.මා තනිකරම දිව්‍යන්ගනාවට වෙන්කර තිබූ හිතේ ඉඩ පොඩ්ඩක් පාදාගෙන විබාගයට වෙන් කළා පමණි

විදුලි වේගයෙන් දවස් සති විය. සති මාස විය. මෙන්න විබාගය ඇත ලඟම..
 

Friday, February 21, 2014

රොටියා සහ ෆේස් බුක්

පසුගිය දිනකදී හදිස්සියේම ෆේස් බුක් හි ආදායම සීග්‍රයෙන් පහත වැටි තිබෙනු දුටු මාර්ක් සකර්බර්ග් ට යකා වැහුනාය. විකාරෙන් දඟලන මාර්ක් කොල්ලාව සැනසීම ඩස්ටින් ට පැවරුණු අතර කණ්ඩායමේ ඉතුරු තිදෙනා පිස්සු වැටුනා සේ ආදායම් අඩුවීමට හේතු හොයන්නට වූ කල ශ්‍රී ලංකාවේ ෆේස් බුක් තහනම් කර ඇති අයුරු දුටුවෝය. එකා පිට වැටි වැටි දිව ආ ඔවුන් විසින් මාර්ක් ට පෙර පුවත දන්වන ලද්දේය.
හෙණම ගහපං යයි සාප කල මාර්ක් එයින් නොනැවතී වෙව්ලමින් එවෙලේම ශ්‍රී ලංකාවට එන්නට ශ්‍රී ලංකන් එයාර් හි අසුනක් වෙන්කර ගැනීමට ඇසු කල, මාර්ක් ට ශ්‍රී ලංකාව තහනම් කර ඇති බැවින් ඔහුගේ වැඩක් බලාගෙන යන දිල්ලියක මකබෑවෙන ලෙස දන්වන ලද අතර, හෙතෙම පරල වී මුන්ව දිවියාම කාපිය යයි බෙරිහන් දුන්නාය
තත්වය අවදානම් බැවින් ඇමෙරිකාවේ ජනදිපතිට දන්වා විශේෂ ගුවන් යානයක්  මාර්ක් කොල්ලාට ලංකාවට එන්නට පිළියෙළ කර ගත් අතර ශ්‍රී ලංකාවේ රැඳිය හැකි වැඩිම කාලය ලෙස ඔහුට පැය දොළහක් ලබාදෙන ලද්දේය.ගුවන් යානයට නැගීමට පෙර අන්තිම මොහොතේ මාර්ක් ට ප්‍රිසිලා ව කල්පනාවට පැමිණි අතර නොදන්වා ගියොත් ආපහු ගෙදර ඒම් බොරු බැවින් කොල්ලා කෙල්ලට වහාම ඇමතුමක් ගත්තේය


මාර්ක්: සුදු හාමිනේ උක්කුන් ලංකාවට ගිහින් එන්නම් සත්තරන්..

ප්‍රිසිලා: ඇයි උක්කුන් හදිස්සියේම. පොඩ්ඩක් ඉන්න සුදුහාමිනෙත්  එනවා
මාර්ක්: බෑ බෑ ඉන්න බෑ. වැඩේ අලවෙන්න කලින් ගොඩින් බේරගන්න ඕනේ
ප්‍රිසිලා: මොන වැඩේද? ඔන්න හිටියේ නැත්තන් මං තරහයි හොඳේ
ඊට පිළිතුරු ලෙස මගුලක් කතා නොකරන ලෙස සැරවූ මාර්ක් කොල්ලා ඇමතුම විසන්දී කළාය. එයින් පසු ඔහු ගෑණු ගෑණු යයි මුමුනමින් ගුවන් යානයට නැග අසුනේ හිඳ ගත් අතර ඉක්බිතිව ලංකාවට බෝලේ බස්සන්නේ කෙසේදැයි තද කල්පනාවකට වැටුනාය.

මේ අතර ජාති ද්‍රෝහියෙකු වූ මාර්ක් ට ලංකාවට එන්න නොදෙන ලෙස ඉල්ලමින් සියලුම සරසවි සිසුන් ඔවුන්ගේ දෙමාපියන්ගේද ඉල්ලීම් නොතකා පාරට බැස තිබූ අතර වැඩිහිටි තලත්තානි උදවිය නම් මාර්ක් ලංකාවට පැමිණීමේ වැරද්දක් දුටුවේ නැත.
ඒ කොල්ලා ආපුවාම මක් වෙනවාදැයි ඇසු නිසා එක් පාසල් සිසුවෙක් මව සමග තරහ වී ළමාරක්ෂණ අධිකාරියට පැමිණ, ගෙදර යෑම ප්‍රතික්ෂේප කල නිසා ලමානිවාසයකට යොමු කරන ලද්දේය.

මාර්ක් සමග සංවාදය සිදු කිරීමට කෙනෙකු සොයා ගත නොහැකි වූ තැන තත්වය සමනය කිරීම සඳහා රොටියා අන්තරාය බාරගත් අතර පොලිස් බල ඇණි පහක්ද හමුදා බල ඇණි තුනක් ද රොටියා සහ පවුලේ උදවියගේ ආරක්ෂාවට යොදන ලදී. මාර්ක් සහ රොටියාගේ හමුවීම අතිශය රහසිගත තැනක සිදුකල අතර මාර්ක්ව අල්ලාගෙන හතරට කපන්න සොයන කුපිතවූ ශිෂ්‍ය ප්‍රජාව හේතුවෙන් නාවික හමුදාව වටකරගෙන සිටි මුහුද මැද තිබූ නැවකදී අදාළ හමුවීම සිද්ද උනාය

රොටියා: පේනවනේ වැඩේ. උඹ හින්ද මටත් ටිකට් එක ඇදෙන්න කලින් කියන දේ කෙටියෙන් කියපන්.
මාර්ක්: (හොටු හූරමින්)අලේ එහෙම කියන්න එපා අයියේ. දැන් මේකට මොකක් හරි කරන්න එපැයි. මාත් දරු පවුල් කාරයනේ
රොටියා: මේ උඹට මම කිව්වා එක සැරයක්. අදෝනාව නවත්තල කියන දේ කොටින් කියපන්
මාර්ක්: දැන් මොකෝ මේ අයියල ලංකාවේ ෆේස් බුක් තහනම් කළේ?
රොටියා: අපිට ෆේස් බුක් වැඩක් නෑනේ. ඒකයි
මාර්ක්: දැන් අයියල යාළුවොත් එක්ක කතා කරන්නේ කොහොමද?
රොටියා: බූරුවෝ මේ ඇමරිකාව නෙවෙයි. උඹලගේ වගේ අපේ රටේ ට්‍රැෆික් නෑ. අපි වැඩ ඇරුනා. සින් සින් ගාල ගෙදර ගියා. හවසට යාළුවොත් එක්ක සෙට් උනා. නැත්තන් නෑදෑ ගෙදරක ගියා. එහෙමයි අපේ වැඩ. නැතුව ඔය ෆේස් බුක් එකෙන් යාලුවන්ගෙයි නෑයන්ගෙයි හැම රෙද්දම දැන ගන්න බොලා වගේ නෙවෙයි
මාර්ක්: ඉතින් අයියේ අයියල කලින් ෆේස් බුක් හිටියනේ
රොටියා: හිටියා තමයි බොල. අපි ලජ්ජා වෙනවා එහෙම හරි හිටපු එක ගැන.
මාර්ක්: අයියේ තරහ ගන්නේ නැතුව කියන්ඩකෝ ඇයි මගේ රත්තරන් ෆේස් බුක් එක මෙහෙ තහනං කළේ කියල
රොටියා: අපේ ලංකාවේ මුත්තල කිරි කිත්තල කාලේවත් උනේ නැති දේවල් තොගේ මේ ෆේස් බුකිය හින්ද උනා බොල. ඔන්න අහගනින්. කොල්ලෝ කෙල්ලෝ යාලු උනා. උන් රණ්ඩු උනා. සමහරු මලා. මේක බලපු සමහර එවුන් ෆේස් බුකියෙන්ම ඉගෙන ගෙන හොරකන් කරන්න පුරුදු උනා. පෙළක් එව්වෝ සත්තු මැරුවා. අරක්කු කටේ නොතිබ්බ කැම්පස් කොල්ලෝ බොන්න පුරුදු උනා. කෙල්ලෝ කොල්ලන්ව දාල යන්න ගියා. බැඳපු එවුන් ඩිවෝස්..
මාර්ක්: (කෑ ගසා) ඇති අයියේ ඇති. මගේ රත්තන් අයියේ මට වාවන්නේ නෑ මම රටකට කරපු විනාසේ ගැන. මම හිතන් හිටියේ ලංකාවෙත් ඇමරිකාව වගේ ෆේස් බුකියෙන් මිනිස්සු වැඩිය හම්බවෙන්නේ නැති යාලුවන්ගේ විස්තර දැනගෙන, නෑයන්ගේ තොරතුරු අහගෙන, උදව් ඕනේ මිනිස්සු ගැන අනික් අයට කියලා, වැදගත් දේවල් මිනිස්සුන්ට දැනුම්දීල...

එතනින් එහාට රොටියාගේ පිස්සු හැදුනු බල්ලාගේ විලාපය නිසා රොටියා ඇහැරුණු අතර හීනය ඉවර උනාය..



Friday, February 14, 2014

පිරිමි අපිට වරදින තැන්

පිරිමියෙක් වූ වරදට රොටියාද කොබෙකි.කොබා කියන්නේ කුකුළාට නොවේය.ඒ කියන්නේ මෙහෙමය

රොටියා සහ ගෑණු ළමයා පාරේ යනවිට ලස්සන ගෑණු ළමයෙක් හෙම දුටුවිට රොටියාගේ බෙල්ල කැසීමට පටන් ගන්නවාය.

ගෑණු ළමයා:මොකද රොටියෝ පාර දිහා බලාගෙන එලවන්නකෝ

රොටියා: මගේ බෙල්ල කහනවනේ

ගෑණු ළමයා: කෝ දෙන්න මට වාහනේ. ඔයා ඔලුව හරෝ හරෝ බෙල්ල කහන්නේ නැතුව කෙලින්ම ගෑණු ළමයි දිහා බල බල යන්න. මට හැප්පිලා මැරෙන්න බෑ.

රොටියාගේ ගෑණු ළමයා රොටියා කොබා බව දන්නේය.ඒත් ඈට ගානක් නැත.ඈ කියන්නේ රොටියා ගෑණු ළමයි දිහා බැලුවාට ගෑණු ළමයි රොටියා දිහා නොබලන බව ඈ දන්නා බවයි.

පිරිමි කොයිකත් ඔහොමය.කොබා කියන්නේ ගෑණු පස්සේ දුවන ගෙදර ගෑනිව ගණන් නොගෙන හොර ගෑනුන් ලඟට යන කුකුලන්ට නෙවේය කියා රොටියා කියන්නේ ඒ නිසාය

මේ ලඟදි නම් ගෑණු ළමයාගේ ඉවසීමේ සිමාව පැන රොටියාට ටිකට් එක ඇදෙන්නට ගොස් නුලෙන් බේරුනේය.ඒ කෙසේද යත් රොටියාගේ ඔපිසියට අලුතෙන් පැමිණි ඇහැට කනට පෙනෙන කෙල්ලෙකු නිසාය.අවංකවම කිවහොත් රොටියාට දුටු සතුටු හැරෙන්නට වෙන සතුටක් ඒ කෙල්ල සමග තිබුනේ නැත. පුදුමය කියන්නේ කවම කලෙකවත් කෙල්ලෙක් හරියට නොබැලූ රොටියාගේ රොටි මුණ දෙස ඒ කෙල්ල සිය අවදානය යොමු කිරීමයි.

නමෝවිත්තියෙන් ඒ කෙල්ලගෙන් රොටියාගේ මුණු එවපු පොතට මිතුරු ඇරයුම රොටියා පිළිගත් අතර සතියක් දෙකක් පමණ රොටියාගේ පොටෝ වලට ලයික් කිරීමක් ඇරෙන්නට වෙනත් දෙයක් ඇය කළේ නැත.

දවසක් මහ රෑක රොටියා ඔපීසියේ වැඩක් සමග ඔට්ටු වෙන විට හෙන ගහන්නාක් මෙන් අලුත් කෙල්ල මුණු පොතෙන් හායි.. ගෑවාය.රොටියාද වැඩිදුර නොසිතාම ඇයට පෙරලා පිළිතුරු යැවූ අතර දෙදෙනාගේ සංවාදය ටිකක් දික් උනාය.රොටියා චැට් කියන කෙහෙල්මලට කැමති නැති මුත් කෙල්ල පිළිතුරු එවූ වේගය අනුව ඇය චැට් කලාවේ කෙල පැමිණියෙකි යයි රොටියා තීරණය කළාය


රොටියා රෑ නිදිමරන විට කීය හෝ වෙනකන් ඇහැ ඇරන් සිටීම රොටියාගේ ගෑණු ළමයාගේ පුරුද්දකි.රොටියාට යකා නගින ඒ පුරුද්ද අද වෙන තුරුද ගෑණු ළමයා නොකඩවා සිදු කරන්නීය. යාළුවන් සමග රෑට සෙට් වෙන දවසට රොටියාගේ අනිත් යහළුවන් තම තමන්ගේ ගෑණු ළමයි හෝ බිරියන්ගේ දොස්මුරයන්ට බිය ගත්තද රොටියාට සිදුවී ඇත්තේ රොටියාගේ ගෑණු ළමයාට දොස් නගා ඈව නිදිගන්වන්නට උත්සහ කරන්නටය. අවසානයේ සිදු වන්නේ ගෑණු ළමයා නිදා නොගන්නා බැවින් රොටියා වැඩි වේලා නොයිඳ ගෙදර ඒමයි. රොටියා බිව්වද නැද්දැයි ප්‍රශ්න නොනගන ඈ අසන එකම ප්‍රශ්නය " රොටියෝ ගෙදර ආවද කියාය"


ඉතින් එනිසා වැඩේ ඉවර වූ වහාම රොටියා ගෑණු ළමයාට දැනුම් දී නින්දට ගිය අතර, කෙල්ල සමග සිදුවූ සංවාදය ගැන ගෑණු ළමයාට සඳහන් කිරීමට රොටියාට අමතක වුවාය.


දින දෙක තුනකට පසුව නැවතත් කෙල්ල සමග රොටියා චැට් එකට සෙට් වූ අතර එදින කෙල්ල සිය පෞද්ගලික දේවල්ද රොටියා හමුවේ දිග අරින්නට වූ බැවින් රොටියාට තරමක අපහසුතාවයක් දැනුනු අතර තරමක ත්‍රාසජනක ප්‍රිතියක්ද හිතේ ඇති වුනාය. රොටියා අවංකව තමුන්ගේ ගෑණු ළමයා ගැනද කෙල්ලට කියූ අතර ඈ ඊළඟට ගෑණු ළමයාව හොඳින් බලාගන්නා ආකාරය ගැන රොටියාට උපදෙස් දෙන්නට පටන් ගත්තාය. එදින හිතා මතාම රොටියා චැට් එක ගැන ගෑණු ළමයාට මුකුත් නොකී අතර කොච්චර තේරුම් ගන්නා කෙනෙකු වුවත් ඒ ටික ගෑණු ළමයාට දිරවා ගැනීමට අමාරු වේයැයි රොටියා උපකල්පනය කළාය


කෙල්ල ඔපිසියෙන් අස් වී වෙනත් ඔපිසියකට ගියේ මේ අතරය.
ඊට පසුවද තවත් දිනකදිද මුණු පොතේ සංවාදය සිදුවූ අතර රොටියා හීනෙන්වත් තමුන්ගේ ගෑණු ළමයාට චපල නොවූ බව හිතට එකගවම කියනවාය. මුලින්ම කී පරිදි සිද්ද උනේ රොටියා පිරිමියෙක් වූ වැරැද්දය (කොබෙක් නොවන කොල්ලෙක් සිටි නම් මේක කියවා රොටියා සමග තරහ ගන්නට එපාය.)


අනතුරුව දිනකදී රොටියා ඔපීසියේ ඉන්නා විට මුණු පොතේ යාලුවෙකුට පණිවිඩයක් යැවීමට උවමනා වූ බැවින් හා ඔපීසියේ නෙට්වර්ක් පාලනය කරන එකා මුණු පොතට බාදක දමා ඇති බැවින් රොටියා ගෑණු ළමයාට කතා කොට අදාළ වැඩේ සිදු කරන ලෙසට උපදෙස් දුන්නාය


රොටියාගේ වැඩේ ගෑණු ළමයා සිරිත් පරිදි අඩු පාඩුවක් නැතිව සිද්ද කල අතර ටික වෙලාවකින් හද කිරිගැහෙන කෙටි පණිවිඩයක් ගෑණු ළමයාගෙන් රොටියාට ලැබුණි.


රොටියාගේ හිස පමණක් නොව මුළු ඇඟම ගිනිගත් අතර පිළිතුරු යැවීමෙන් නොනැවතී රොටියා හාෆ් ඩේ එකක් දමා පිඹගෙන ගෑණු ළමයා මුණ ගැහෙන්නට ගියාය.


අවසානයේ ගෑණු ළමයා රොටියාට සමාව දෙන්නට කැමති වූ අතර රොටියා මුල්ම වතාවට රොටියා හා ගෑණු ළමයා අතර තිබූ ගිවීසුමේ මුලික කොන්දේසියක් කඩා තිබුණි. වෙනත් ගෑණු සමග ආශ්‍රය කරන්නට එපායැයි රොටියාගේ ගෑණු ළමයා කවදාවත් නීති දමා නොතිබූ අතර ඇගේ එකම ඉල්ලීම වුයේ එවැනි යෙහෙලියන් ගැන ඈටත් විස්තර කියන ලෙසටය.රොටියාද එවැනිම ඉල්ලීමක් ඇගෙන් සිදු කල අතර ඈද පුරුද්දක් ලෙස එය ඉටු කළාය


ප්‍රශ්නය කතා කොට විසඳා ගැනීමෙන් අනතුරුව ඈ තමන්ට පොඩි වැඩක් ඉවර කරන්නට ඇති බැවින් පැය කාලකින් රොටියාව මුණ ගැසෙන්නට පොරොන්දු වූ අතර පොරොන්දුව එලෙසම ඉටු කළාය

රණ්ඩුවට හේතුව වූ බුත කෙල්ල ඉන් පසු කවදාවත් රොටියා සමග කතා නොකළ අතර එය නිකමට මෙන් රොටියා තමුන්ගේ ගෑණු ළමයා සමග සදහන් කරන විට ඈ

" ආ .. එදා එයා මාත් එක්ක ඔයා කියල හිතන් චැට් කළා. මාත් ඔයා වගේ චැට් කරන ගමන් තමා ඔයාට අර මැසේජ් එක දැම්මේ. ඊට පස්සේ ඔයා ආවට පස්සේ මං මම කියලම එයත් එක්ක චැට් කළා. ඔයා කවදාවත් ෆේස් බුක් එන්නේ නැති හින්ද හැමදාම ඔයා වගේ චැට් කළේ මම කියලත් මම එයාට කිව්වා..."



එකෝමත් එක දවසක - 09

එදා සිට එයින් අවුරුදු හයක් යනතුරු වුනු හැම සිද්දියක්ම ලියමින් කියවන ඔබව වෙහෙසට පත් කිරීම මට සුළු දෙයකි. මොකද ලියා ඉවර කරන්නට බැරි තරම් වූ සිද්දීන්ගෙන් ගහන ප්‍රේමය හැර අන් සියලුම දේ තිබූ ප්‍රේමයක හිමිකරුවා මම වන නිසාය. එබැවින් කතාව දික් ගස්සන්නේ නැතිව මම ඉතිරිය කෙටියෙන් ලියන්නට උත්සහ ගනිමි

මගේ දිව්‍යංගනාව එදා සිට මා සමග මිතුරු වුයේ ඒ ආකාරයෙනි. විටෙක මට මිතුරියක් යයි හැඟෙන ආකාරයටද, තවත් විටෙක මගේ හිතට සමීප කෙනෙකු හැසිරෙන ආකාරයටද තවත් විටෙක මා කසාද බැඳීමට කැමති ආකාරයටද හැසිරෙමින් ඈ මාව මෝල් කළාය. මමද නියම ඇඹලයෙකුගේ භූමිකාව අපුරුවට රඟ පාමින් උසස්පෙළ අවසන් වන තුරුම ඇයට වහ වැටි සිටියෙමි


මා මිතුරු රැල මුලින්ම මෙය සැලකුවේ තවත් එක් තාවකාලික ප්‍රේමයක් විදියටය. අනතුරුව සැලකුවේ ඇත්තම ප්‍රේමයක් විදියටය. ඊට පසු උන් හිතුවේ අපි දෙදෙනා කැමැත්ත ප්‍රකාශ කරගන්න විදියක් නැතිව ඉන්නා ගානටය. මෙයට ස්ව කැමැත්තෙන්ම තෝලක කම් කිරීමට මගේ මිතුරන් සියල්ලෝම එකාවන්ව එක් සිත්ව සිටියහ. නමුත් ඔවුන්ව වැලක්වුයේ මාය. මට උවමනා වුයේ ගරු කටයුතු ප්‍රේමයකි. මිතුරෙකු හරහා ඇගෙන් මට කැමැත්ත විමසවිමට මට උවමනා නොවිය

එක් දිනක් ලපයා උගේ බැරෑරුම් මුහුණ දාගෙන මා හමු වුවාය. මට මතක ලෙස එකල විබාගයට තිබුනේ මාස අටක් වැනි කාලයකි

ලපයා: මචං මං මේ උඹ මගේ ෆිට් එක හින්ද අහන්නේ

මම: කියපන්

ලපයා: මචං උඹට ඔය කෙල්ලව විස්වාසද? මං කියන්නේ ඒකි උඹත් එක්ක සෙල්ලන් කරන්නේ නෑ කියල උඹට සුවර්ද

මට ඇයව විස්වාස බවත්, ඈ මට කැමති වග නොයෙකුත් ක්‍රම වලින් අඟවා ඇති බවත්, එනිසා හදිස්සි වීමට උවමනාවක් නැති බවත් මම ඌට කිව්වෙමි. ඈ මට කැමතියි මම ඈට කැමතියි

ලපයා: මචං මම උඹව දන්න හින්ද කියන්නේ. උඹ තාම පොඩි එකෙක් වගේ මචං. පොඩ්ඩක් කල්පනාවෙන් හිටපන්. දැන් ඉන්නේ අං ගිලපු කෙල්ලෝ. එකී ගෙවල් පැත්තේ කොල්ලෙක් එක්කත් මොකද්දෝ හුටපටයක් තියෙනවයි කියල නදීට ආරංචි වෙලා තියෙනවා

ඈට ගොඩක් මිතුරන් ඉන්නවා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.

ලපයා: හරි කොල්ලෝ. උඹ ෆිට් නම් මට එච්චරයි. මොනා කලත් බන් විබාගය අනාගන්න නම් එපා. උඹේ අම්ම ගැන හිතල, තාත්ත ගැන හිතල විබාගේ ලියපන්. එච්චරයි මම කියන්නේ

මගේ ජිවිත කාලයේ හමුවූ හොඳම මිතුරා ලපයා බව මම අදටත් කියන්නේ අන්න ඒ නිසාය. ලපයා එදා මාව මානසිකව වැට්ටුවේ නැත. මගේ හිත බින්දේද නැත. ඌ කළේ මගේ විබාගය ගැන මට මතක් කරපු එක විතරමය. ඌ එදා මට ඔය කතාව කිව්වේ කතාවේ ඇත්ත නැත්ත ඌ විසින්ම විමසා බලාය. සම්පුර්ණ කතාව ඌ මට කිවේ විබාගය ඉවරවී මාසයකුත් ගිය තැනය



Sunday, February 2, 2014

නොවැම්බර් 25

ලෝකෙ පුදුමාකාරම දේවලින් එකක් තමයි ආදරේ කියන්නේ.අපි ආදරේ කරන්න ඉගෙන ගන්නේ අම්මගේ බඩේ ඉද්දීමයි. අම්මට, තාත්තට, සහෝදර සහෝදරියන්ට අපේ තියෙන ආදරේ අපි උපතින්ම අරන් එනවා

ඊළඟට අපි ලොකු වෙද්දී අපිට අපේම ආදරයක් ඕනේ වෙනවා. අපේ ජීවිතය ලඟින් ඉඳගෙන බෙදා ගන්න කෙනෙක් එනකන් අපි බලන් ඉන්නවා

සමහරු අවුරුදු ගානක් පස්සෙන් ගිහින් යාලු වෙනවා
තව සමහරු දැකපු ගමන් යාලු වෙනවා
පොඩි කාලේ ඉඳල දන්නා අය යාලු වෙනවා
කැම්පස් එකේදී යාලු වෙනවා
බස් එකේදී යාලු වෙනවා

ඒත් කවද හරි, කවුරු හරි නොදැකපු කෙනෙක්ගේ කටහඬට ආදරේ කරලා ඇත්ද? නොදැකපු කෙනෙක්ගේ අදහස් වලට ආදරේ කරලා ඇත්ද? නොදැකපු කෙනෙක්ට තමුන්ගේ ජිවිතයේ කවදාවත්ම කාටවත්ම නොකියපු දේවල් කියල ඇත්ද? නොදැකපු කෙනෙක්ව මෙච්චරම විස්වාස කරලා ඇත්ද?

හීනෙන්වත් නොදැක්ක කෙනෙක් තමන්ගේ කරගන්න හීන දකින්න ඇත්ද?

මගේ හිත දුවගෙන යනවා අවුරුද්දේ මුලට. ඔව්. ඒ මාර්තු 05. මට අමතක නොවෙන මාර්තු 05!

එකෝමත් එක දවසක - 08

මා කොපමණ බලාපොරොත්තු තියන් උන්නද මගේ දිවයාන්ගනාව එදා පන්ති ආවේ නැත. මට පිස්සු නැතහොත් පිස්සුවට කිට්ටු යමක් හැදුනා මෙන් විය. මා දෑස් රිදෙන තුරු බලා සිටියද හවස පන්තියට ද ඈ පැමිණියේද නැත.
ඊළඟ සතියේ අප පාසලෙන් විනෝද චාරිකාවක් යාමට සුදානම් වී සිටි අතර ඒ වැඩ අස්සේ මම කාර්යබහුල වූ නිසා මට ඈ ගැන හිත හිතා ඉන්නට එපමණ කාලයක් ලැබුනේ නැත.


නොදැනීම සතියක් ගෙවුණු අතර අප පන්තියේ කොල්ලන් සියලු දෙනාගේම ප්‍රධාන මාර්තෘකාව වුයේ විනෝද චාරිකාව හා බැඳුනු සිද්ධීන් මිස කෙල්ලන් නොවේ. මට ඈ ගැන ඇත්තටම මතක් වුයේ ඊළඟ සෙනසුරාදා උදේ දත් මදින අතරේය. අද ඈ එයිදෝ නොඑයිදෝ සැකය මගේ සිත තුල හොල්මන් කලත් මම එකල මා සතුව තිබූ කමිස තුනෙන් ඉස්තරම්ම කමිසයෙන් සැරසුනෙමි


මම එදා කුමක් හෝ හේතුවක් නිසා කලින් පන්තියට ගියෙමි. මා යන විට මා මිතුරු රැලෙන් එකෙක්වත් පැමිණ සිටියේ නැත. මට තට්ට තනියම බංකුව අල්ලාගෙන සිටීමට (බංකු අල්ලා ගැනීම කුමක්දැයි අමුතුවෙන් කියන්න දෙයක් නැත) වැඩේ සිද්ද කරමින් තාම නොපැමිණි ලපයාට හිතෙන් ඉස්තුති කතා පවත්වමින් සිටින අතරේ පිටුපසින් කව්දෝ ගෑණු ළමයෙක්
“ආ ගුඩ් මෝනිං” කියනවා ඇසුනි


මටද කියා හරියටම නොදන්නා නමුත් මම හැරී බැලුවෙමි


මෙන්න මගේ සිහින කුමාරි මා ලඟම හිනැහෙමින්..


උනේ මොකද්දැයි සිහි එලවා ගත නොහැකි වූ මුත් මමත් ඈට පෙරලා සුබ පැතීමි.


“එදා ගන්න පුළුවන් උනාද අර පොත?”


(මොන පොතද?) “ නෑනේ, පොත තිබ්බේ නෑ”


“හයියෝ.. අපරාදෙනේ දිව්වේ”

“දිව්වේ නැත්තන් වහනවා. මම ගිහින් විනාඩි දෙකෙන් ඇතුලට ගන්න එක නැවැත්තුවා”


“ගෙදර යද්දිත් බස් එකෙන් පැන්නද?” ඈ යටසින් බලා සිනාවකින් තොරව ඇසුවාය. 


සත්තකින්ම මාව හිරිවැටි ගියේය. ගෑණු ළමයි යටැසින් බලන්නේ ඇයි?
මොනවා කියන්නද කොහොම කියන්නද සිතාගත නොහැකිව මගේ කට වැසී තිබුණි. නිහඩතාවය බින්දේ ඈමය.


“බලාගෙන යන්න පරිස්සමට. වැටුනන් එහෙම එදා. බස් වලින් පනින්න ඕනේ නෑනේ. බෙල් එක ගහල බැස්සාම හරිනේ”


නැත. බෙල් එක ගසා බැස්සාම හරි නැත. එදා බෙල් එක ගසා බැස්සා නම් මේ කතාව මෙච්චර දිගට යන්නේ නැත.
මගේ කටට ආවේ “මං වැටුනන් ඔයා මොකද කරන්නේ කියාය”. එවදන් කටින් පිට නොකර මම හිස කසා පොඩි පහේ මෝඩ හිනාවක් දැම්මෙමි.
ඈ මං ගැන හිතා තිබෙන පාටය. තමුන්ගේ ලඟින් ඉන්න මිතුරෙකු ගැන වගේ ඈ මං ගැන කතා කිරීම ගැන මට ඇතිවුයේ පොඩි පහේ සන්තෝසයක් හෙම නෙවේය. ඈ මට කැමතිද මන්දා?


යාළුවො කියන්නේ එපා වෙලාවට බුරුතු පිටින් ඉන්නා ජාතියක් බව මට තවත් වරක් තේරුම් ගියේ එක්වරම අප සිටි තැනට කඩා වැදුණු ලපයා,ඇටකටුස්, බකයා සහ පුසා දුටු විටය. 


“අඩෝ ගුඩ් මෝර්නින් වේවා. තොගේ කෑල්ල අදවත් ඉන්නවද?”


මට ඇතිවුයේ ලපයාව මරන්නට තරන් වූ කේන්තියකි. මේ බුරුවාට කතා කරන විට වටපිට බලා කතා කරන්න බැරි ඇයි මල හත්තිලව්වේ?


විය යුතු පරිදිම ඊ ලඟට කට ඇරියේ බකයාය.
“මුගේ තියෙන්නේ මචං හෝමෝන අවුලක්. ඒකිව දැක්කාම..”


මගේ වෙලාව හොඳ කම නිසා හෝ, දෙයියන් මගේ මුණ බැලූ නිසා හෝ වෙන කුමක් හෝ කරුණක් නිසා මගේ කුමාරිකාව හින් හඩින් තම කටහඬ අවදි කළාය


“එහෙනම් මම ගිහින් එන්නම්. මගේ යාළුවා දැන් එයි”


අර රිලව් රැලම එක පාරට නිහඬ වී හඬ ආ දෙසට ඔළු ගෙඩි යොමු කළෝය

.
“හා හා. හවසට බස් එකේ හම්බවෙයි නේ සමහර වෙලාවට” මගේ මනමාල හිනාව..


ඈ ගොස් තත්පර දෙක තුනක්ම අප අතර පැවතියේ දරුණු නිහඬතාවයකි.


අන්තිමේ දී මුලින්ම කතා කළේ ස්වබාවයෙන්ම නිහඬ පුසාය.
“අන්තිමේ මූ කෙහෙල් ගහට කෙටුව එහෙනං ඈ..”


ලපයා “හොඳයි පුතෝ ඔහොම යන්කෝ..”


ඇටයා “මුට ගිය කල”


බකයා “ යකෝ උඹ මොන සිරප් එකද ගැහුවේ”


මා සමග ඈ කතා කරමින් සිටියේ සහෝදර ප්‍රේමයෙන් බවත්, උන් හිතන තරන් දෙයක් එතන සිද්ද උනේ නැති බවත් එදා මම උන්ට සරලව තේරුම් කලද උන් එකතුවී මගෙන් අයිස් ක්‍රීම් පාටියක් බලෙන්ම ලබා ගත්තෝය