Friday, March 25, 2016

ලවැන්දර් සේපාලිකා

තෙතමනයක් නැති කාෂ්ඨක හුළඟට එදා තෙතමනයක් එකතු උනේ ඇයිද කියන්න මම දන්නේ නැහැ.ඒත් රළු හුළඟ එක දවසකට හරි හීනියට මෙලෙක් වුනු එක ගැන මම සන්තෝස උනා.
උණුහුම් තේ එකෙන් නැගුනු සුවඳින් කියවුනේ අද මට ලැබෙන්නේ ලෙමන් තේ එකක් බවයි. මම ලෙමන් රසට ආසයි. නමුත් ඒ තේ රසත් එක්ක නම් නෙවෙයි.

තේකක් හදල අතට ගෙනත් දෙන පුරුද්දක් නිර්මලාට නැහැ. "තේ හදලයි තියෙන්නේ.." නිල නිවේදනය ඇහුනාම මම ගිහින් තේක අරගෙන කැමති නම් බොන්න පුළුවන්. නැත්නම් හලල දාන්න පුළුවන්. මොක කලත් කෝප්පේ හෝදලා රාක්කෙ එල්ලලා තියන්න ඕනේ.
"කාපු බීපු පිඟාන කෝප්පේ හේදුවා කියලා ඔයාට අඩුවක් වෙන්නේ නැහැ තේමිය.." නිර්මලා කිව්වේ අපි කසාද බැඳලා දෙවෙනි සතියෙදියි.

"මගේ අප්පෝ.. පිරිමින්ට කියල වැඩ කරවාගෙන මට පව් සිද්ද කරන්න ඔය හදන්නේ" ඒ දවස් වල බඩු මල්ල උස්සගෙන ගෙනිහිල්ල දෙන්න හදද්දී සමන්තිකා කියනවා

තේක මම හිතපු තරම් නරක නැහැ. ඒක ඇත්තටම හොඳයි.

"අපේ හැමෝටම අද ටි බෑග් කේස් එක ගානේ දුන්න. බොස් චීනේ ඉඳල එනකොට ගෙනාවයි කියල. ඔයා හිතනවද අනේ ඒ මනුස්සයා මේ චීනේ ඉඳල තේ පෙට්ටි පනස් එකක් උස්සගෙන එයි කියල.. ඔය ලංකාවෙ කොහේ හරි තැනකින් අරන් අරන් දෙන්න ඇති නේද" නිර්මලා හිනා වේවි මං දිහා බලනවා

"මොනවා උනත් තේක හොඳයි" මං එහෙම කියන ගමන් කෝප්පේ හෝදලා රාක්කෙ එල්ලුවා

නිර්මලා ට උසස් වීමක් හම්බවුනු වෙලාවේ මම කිව්වේ එයාට ගෙදර ඉන්න කියල. මාත් එක්කම උදේට වැඩට යන නිර්මලා මට කලින් හවසට මට කලින් ගෙදර එනවා උනත් මම හැම වෙලේම කිව්වේ එයාට එතන වැඩ වැඩියි කියල. උසස් වීමත් එක්ක එයාගේ ආදායම මගේ මාසික වැටුපට වඩා වැඩි වුනු එක ගැන මට පුරුෂ ඊර්ෂියාවක් නොදැනුනා කිව්වොත් බොරුවක්. මගේ පුරුෂාධිපති කොන්ක්‍රීට් තට්ටුව නිර්මලා නිසා එන්න එන්නම ඉරි තලන එක ගැන මම සතුටු උනේ නැහැ

"මම රස්සාවට යන්නද මහත්තයෝ.." එක දවසක් සමන්තිකා මගෙන් ඇහුවේ බොහොම බැගෑපත්ව.
"ඔයා රස්සාවල් නොකලට මට ඔයාට කන්න බොන්න දෙන්න පුළුවන් ඒත් ඔයාට ගෙදර ඉන්න පාලු නම් බඳින කම් රස්සාව කරන්න.." මම කිව්වේ ඉව වහා ගිය ආදරෙන්.
ඊළඟ දවසේ මම ගිහින් සමන්තිකාට ඇඳුම් කැඩුම් ගොඩක් අරන් දුන්නේ අලුත් රස්සාවට යන්නයි. එච්චර ලක ලෑස්ති උනත් සමන්තිකා රස්සාවට ගියේ එක සතියක් විතරයි.
" මහන්සියි අනේ.. මම මුකුත් නොකලට ඔයාට හොඳ රස්සාවක් තියෙනවනේ මහත්තයෝ" එයා කිව්ව


"මේ ස්ටාෆ් සර්විස් එක නං එපා වෙනවා අනේ. රවුම් ගහනවා නැති වෙන්න. ඒ අස්සේ ඉන්නෙත් හැට පැනපු කුකුල්ලු.." නිර්මලා කියවනවා

"හ්ම්"

"අද කිර්ති මං ගාව වාඩි වෙලා බොරුවට නිදිවගේ ඉඳගෙන මගේ ඇඟට බරවෙනවා. මං දුන්නා හොඳවයින් වැලමිටි පාරක්. ඒපාර නැගිටලා වෙන සිට් එකකට ගියා"

"ඔයා මොකක් හරි විකාරයක් ඇඳන් යන්න ඇති"

"මං ඇඳන් ගිය විකාරයක් නෑ අනේ. එදා ගත්තු කොළ පාට බ්ලව්ස් ඒකයි, කලිසමයි.. ඒ ඇඳුමේ මොකද්ද තියෙන වැරැද්ද"

"ඕක ගද්දිම මම කිව්ව. ඕකේ අත් කැපිල වැඩියි කියල. කොහෙද කියන දෙයක් ඇහුවද. ඒ කලිසමත් හිර වැඩියි"

"මේ කාලේ අඳින්නේ නැති ඒවා නාකි වෙලා අදින්න කියලද.."

"පිස්සු. පිරිමි අවුස්සන ඇඳුම් ඇදන් ගිහින් ඊළඟට කියන අරූ මූ ඇඟට ආව කියල"

නිර්මලා ස්ලාන්.. ගාල සාස්පානක් සින්ක් එකට අත ඇරියා. මෙතන ඉඳල මේ කතාවේ එල්ලිලා ඉඳල තවත් රණ්ඩු වෙනවද නැත්තන් සාලෙට ගිහින් ටීවී එක දාගන්නවද කියල දෙපැත්තට වැනි වැනි මම මොහොතක් කල්පනා කළා. රණ්ඩුව ඇද්දොත් පාඩුව මටමයි. රෑ කෑම පරක්කු වෙන්න පුළුවන්

ඉස්සර සමන්තිකා අඳින චිත්ත ගවුම් කොච්චර සංවර ද

ටීවී එකේ නිලි බට්ටියක් දිය රෙද්දක් ඇඳන් නලව නලව ඇවිත් ගඟකට බැස්සා. ඉස්සර සමන්තිකා නාල ඉවර වෙලා රෙදි බාල්දියත් අරන්, දිය රෙද්ද පිටින්ම ගෙදරට යන හැටි මට විදුලියක් වගේ කල්පනාවට ආව.

සමන්තිකාගේ ගෙදර ඉඳල ගඟට තිබුනේ මීටර් දෙසීයක් විතර. ඔය පොඩ්ඩ දුර උනත් දිය රෙද්ද මාරු කරන් ආවොත් නරකද කියල අහපුවාම අඬන්න තියා ගත්තා. ඉතින් ඕකට ඔය හැටි අඬන්න ඕනෙද කියල මම එයාගේ සුදු පාට කම්මුලක් ඉම්බා. ඒ දවස් වල ගෙදරම හිටපු හින්ද වෙන්න ඇති සමන්තිකා ටිකක් මහතයි ලස්සනයි. එදායින් පස්සේ කිසිම දවසක මම ඔය ගැන එයාට කතා කළේ නැහැ.දුප්පත් කෙල්ල

අර නිලි බට්ටිම දැන් ගෑණු පෙනුමක් තියෙන නළුවෙක්ගේ ඇඟට හේත්තු වෙලා තොදොල් වෙනවා

නිර්මලා කුස්සියේ ඉඳන් කාමරේට යන හැටි මගේ ඇස් කොනට පෙනුනා. නිර්මලා කවදාටත් මහතට හිටි කෙනෙක් නෙවෙයි. සතියේ දවස් පහක් වැඩට ගිහින් සෙනසුරාද ඉරිදා ජිම් යන්නත් නිර්මලාට පුළුවන් කම තිබ්බ.

"අනේ නලින්ද අයියේ.. සූරසේන අයියා මට හරියට කරදර කරනවා" නිලි බට්ටි නිලි නළුවට කියනවා

මගේ යාලුවෙක් වුනු විජිත නිර්මලා ගෙන් කන පුරා බඩ පුරා බැනුම් අහගෙන තිබ්බේ අවශ්‍ය නැති කතාවක් කියල. කොහොමත් උගේ කට හොඳ නෑ. හරි මනමාලයා. ඔය සිද්දිය කිව්ව වෙලාවේ මම දොස් කිව්වේ නිර්මලාටමයි. මිනිස්සු එක්ක වැඩි කතාවට යනවට ගෑණුන්ට හොඳ පාඩම් ඕව. අනෙක ඌ එහෙම කතාවකට ආව නම් නිර්මලාට තිබ්බේ මග ඇරලා එන්න. මොකට බණින්න ගියාද

"එහෙම ආවොත් ඌ හිතන්නේ මං ඌට කැමති නිසා මුකුත් කිව්වේ නෑ කියල" එදා අන්තිමේදී නිර්මලා පොල්ලෙන් ගැහුවා වගේ කියල බාත්රූම් එකට ගිහින් දොර වහ ගත්තා

"නලින්ද අයියේ මාව ඔයා ඉන්න තැනකට එක්කං යන්න. මම ලුණුයි බතුයි කාලා ඉන්නං" නිලි බට්ටි ඇඩ් එකක් දැම්ම

"අපිට ඔය කාර් බාර් ඕනේ නැහැ මහත්තයෝ. පොඩි ගෙයක් තිබ්බාම හොඳටම ඇති. මමත් බත් පාර්සල් හදල හරි කියක් වත් හොයා ගන්නං" එදා සමන්තිකා මට කිව්වේ එයාගේ කාමරේදියි. එයාගේ ඇඳ උඩ තිබ්බ මල් පොත් ටිකයි, ඇඳ පාමුල ගොඩ ගහල තිබ්බ මල් සඟරා ටිකයි මට ඇස් කොනෙන් පෙනුනා. අතේ සතයක් නැතිව උන් ශ්‍රියාණි දැන් මාසෙකට ලක්ෂ දෙකක් හොයන බවත්, ඒ කතාව දැන ගන්න ඇතුලත කියවිය යුතු බවත් උඩින්ම තිබුණු සඟරාවේ මුල් පිටුවේ තිබුනා.

"අනේ ඔයත් බලන කතා.." නිර්මලා ගේ සද්දෙට මම උඩ ගිහින් බිම නොවැටුණු ටික විතරයි. අපේ රණ්ඩුව එයාට මතක නෑ දැන්

"මොකද්ද මේකේ තියෙන වැරැද්ද"

"ඕවා අනේ වෙන්න පුළුවන් දේවල්ද කියන්න..අතේ සතේ නැතුව බැඳලා ආදරෙයි ආදරෙයි කිය කියා මුණට මුණ බලන් හිටියාම ඔක්කොම හරිද.."

"එතකොට ඔයා කියන්නේ සල්ලි තමයි ඔක්කොටම මුල කියලද"

"සල්ලි තියෙන්න ඕනේ.. ඒකේ දෙකක් නෑ. ආදරේ තියන්න ඕනේ. ඔය දෙකම තිබ්බත් අනිත් කෙනාට රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් වැඩක් නෑ"

බඩිගිනියි. කමුද? මම ඇහුවේ එතනින් එහාට මට කියන්න දෙයක් තිබ්බේ නැති හින්දයි.

කාලා ඉවර වෙලා බාජන හෝදන එක මගේ වැඩක්. නිර්මලා ඒ වැඩේ මගේ ඇඟේ ගැහුවේ බැඳලා මුල් කාලෙදිමයි. "අනේ තේමිය , උයන්න උදව් වෙන්න ඕනේ නෑ. අඩුම ගානේ උයපු බාජන ටිකවත් හෝදලා දාන්න". මම මුල්ම දවසේ බාජන ටික ලඟට ගියේ "ඔයාට මේ පොඩි දේ වත් තනියම කරන්න බැයිද කියල අහගෙන. "පොඩි වැඩක් නිසා තමයි ඔයාට කිව්වේ" නිර්මලා හැරෙන තැපෑලෙන්ම උත්තර දුන්නා. ඒත් ගොඩක් දවසට මම තාම හදන්නේ කොහොම හරි මේ වැඩේ මග අරින්න.

"අනේ මහත්තයෝ මට සපුමල් අයියගේ හිත රිදෙන්න කතා කරන්න බයයි. ඔයාට බැයිද පොඩ්ඩක් කතා කරන්න" සමන්තිකා අහිංසක ඇස ලොකු කරලා මට කියපු හැටි මට තාම මතකයි
"මේ හලෝ.. තමුසේට ඕනේ නං කෙල්ලව තියා ගන්නවා. ඒකී මට හා කියපු නැති එක ඇත්ත. ඒත් කවදාවත් බෑ කියලත් නෑ.මම ඒකී කියපු දවසට යන්න යන්නං" මාත් එක්ක එකට කුඹුරු කෙටුව සපුමල්මද ඒ කියල මට හිතා ගන්නත් බැරි උනා

"මහත්තය එක එකා එක්ක කතාවට යන්න එපා. මම මග ඇරලා ඉන්නන්කෝ"


මම අන්තිම බාජනේ හෝදද්දී හීනියට ලැවැන්ඩර් සුවඳක් දැනුනා. රෑට සුවඳ තෙල් පහනක් පත්තු කරන්න නිර්මලා ආසයි. ඒ සුවඳ දැනෙනවා කියන්නේ නිර්මලා ගේ අස් කරලා , අතු ගාල ඉවරයි කියන එක.

"තේමිය .. වොෂ් එකක් දාගන්න" නිර්මලා කෑ ගහනවා. හැබෑට මේ ගෑණු පිරිමින්ව පොඩි එවුන් වගේ නේ කොන්ට්‍රෝල් කරන්න යන්නේ.හෝදගන්න කියල ආයේ කියන්න ඕනෙද. රෑට ඔක්කොම වැඩ ඉවර වෙලා ටීවී එක ඉස්සරහ ඔහේ වැටිලා ඉන්න මම ආසයි. හිතුනු වෙලාවට ඇඟ හෝදලා හරි නැතුව හරි නිදා ගන්න මම ආසයි

"ඔයා ගාව හඩු ගඳයි." බැඳපු මුල් දවස් වල නිර්මලා කියනවා. ඕක නිර්මලා විතරක් නෙමෙයි අපේ අම්මත් කියනවා

"මහත්තයාගේ සරමක් දෙන්නකෝ මට රෑට පොරවන්න" සමන්තිකාගේ සඟරා මට ඇහැක් ගහනවා

"තේමිය .. නිදා ගන්න එන්න. නැත්තන් උදේට නැගිටින්න අමාරුයි" .
මේ මොන කෝලමක්ද, උඹ ඇඳට පලයන් නිදා ගන්න එපා , හිත ඇතුලේ පිරිමි සතා කෑ ගහනවා.

"මචං අන්න සමන්තිකයි සපුමලුයි ආයේ ගමට ඇවිල්ලා. සපුමලය උදේම වැඩට යන හින්ද සමන්තිකාට ගෙදර වැඩ ඔක්කොම තනියම කරන්න අමාරු හින්ද අම්මල ගාවට ආවයි කියල තමා ආරංචිය. ඔය, දෙන්න පැනල ගියාට පස්සේ ආපු මුල් වතාව. දැන් සමන්තිකාට ළමයි දෙන්නෙක් ඉන්නවය කියන්නේ"

අපේ පොඩි එකා හීනෙන් කියෝන සද්දේ ඇහුනා. ලැවැන්ඩර් සුවඳ දැන් තදටම දැනෙනවා. නිදිමත එන්න අපූරුයි

මොනවා උනත් සේපාලිකා මල් ගහක් තිබ්බනං මීට වඩා හොඳයි කියල මට හිතුනා. උදේට පරවෙන එක ඇත්ත ඒත් ඕනේ උනාම කඩල පූජා කරන්න පුළුවනි

Monday, March 7, 2016

සෙක්ස්පෝ හා පෙන්ෂන්

රොටියා විසින් තමාව රොටියා ලෙස බෞතිස්ම කරගනු ලැබුවේ බ්ලොග් ලිවිම පිණිසමය. රොටියාව තමාට මෙතරම් හිසරදයක් වනු ඇතැයි එකල මට කිසිවිටෙක නොසිතුනේය. සැබෑව හා රොටියා අතර සිට බ්ලොග්කරණය අතිශය වෙහෙසකරය. නමුත් එයින් රොටියා ලබන තෘප්තිය අසීමිතය..

ලිපියට පාදක වන සමයේ රොටියා සිටියේ අප්‍රිකානු රටකය. සැලකිය යුතු පිරිසක් ඒඩ්ස් වලින් මියයන, ඒඩ්ස් වැළදීම "සාමාන්‍ය උණක් ලෙස " හදුන්වන ඒ රටෙහි වගතුග පොස්ටු බර ගණනකින් ලිවිය හැක. මෙහි ලියවෙන්නේ ඒ කිසිවක් නොව ඒ රටේදී රොටියා සහබාගි වන්නට යෙදුනු ප්‍රදර්ශනයක් ගැන විස්තරයකි

"සෙක්ස්පෝ"
ලංකාවේ සුචරිතවාදින්ව බියෙන් ත්‍රස්ත කල හැකි මාතෘකාවක් රැගත් එම ප්‍රදර්ශනය ගැන ඇසු රොටියාට එය නැරබීමට යෑමට උණක් වැලඳුනේ තදබල ලෙසය. නමුත් කාලය සොයා ගැනීම උගහට විය

ප්‍රදර්ශනය ගැන ගැහැණු ළමයාව දැනුවත් කල විට හිකි හිකියක් සමග තමන්ටත් මොනවා හරි රැගෙන එන ලෙසට ලබා ගත් පොරොන්දුවත් අතැතිව කල් යල් බලමින් සිටි රොටියාට , එකෝමත් එක දවසක හදිසියේම පොටක් පෑදුණේය.

ප්‍රදර්ශනය අතුරු සිදුරු නැතිව පිරි තිබුනේය. රොටියා හා පිරිස මෙන් තනිකඩයෝ මෙන්ම තම සහකරුවා හෝ සහකාරිය සමග පැමිණි ජෝඩු ද එහි උන්නෝය. බොහෝමයක් කුටි වල අදාළ උපකරණ විකුණුම් කුටි විය. මතක හැටියට රොටියා ලබා ගත් පිවිසුම් පත ලංකාවේ මුදලින් හාරදහස් ගණනකි. ඒ සමග සබ්ජෙක්ටුවට අදාළ කුඩා ත්‍යාග පාර්සලක්ද විය.

ප්‍රදර්ශනය වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම ප්‍රදර්ශනයක්ම විය. ප්‍රදර්ශනය ලංකාවේ තිබුනා නම් , කී දෙනෙක් ප්‍රදර්ශනයේ නමත් සමග නිදි වදිමින් සුරාතන්තයට පත්වී ගත නොහැකිව, නරබන්නට යන අයට ද්වේශ කරමින්, පරිභව කරමින් තම තමන්ගේ මනස තුල ඔවුන්ව නිරුවත් කර , ප්‍රදර්ශන සංකීරණය තුල කීවරක් ඔවුන් කම්සැප විඳින මානසික දර්ශන නරඹමින් උමතු වෙයිද? ලංකාවේ බහුතරයක හිත රිදෙන කතාව ඕකය

ප්‍රදර්ශනය තුල ප්‍රදර්ශන කුටි වලට අමතරව තවත් අංගද තිබුණි. ඒවා ඉදිරිපත් කරන්නන් හෝ කරන්නියන් අසලට ගොස් ස්පර්ශ කිරීම නරඹන්නන්ට සම්පුර්ණයෙන්ම තහනම් විය. නරඹන්නට ඉදිරිපත් විය හැකි කුඩා තරඟද සංවිධානය කොට තිබිණි. Stripping dance, Pole dance වැනි. ඒවායේ ජයග්රාහකයින්ව තෝරා ගත්තේ නරඹන්නන් වෙතින්ම නැගුනු ඉහලම ඔල්වරසන් හඬ අනුවය. ඒවාට සහබාගිත්වයද හොඳ මට්ටමකින් පැවතියේය

වෘත්තීය නර්තන ශිල්පියන් විසින් ඉදිරිපත් කල Stripping dance අංගයේදී, යම්කිසි මුදලක් ගෙවා තමුන්ට පෞද්ගලික නර්තන ශිල්පිනියක් වෙන්කර ගැනීමේ හැකියාව විය. ඈ ඔබ ළඟටම ඇවිත් නර්තනයේ යෙදෙවී. නමුත් ඔබට ඈව ඇල්ලීම තහනම්ය. එතනට පැමිණ සිටි යුවලක, යුවතිය විසින් මුදල් ගෙවා සිය පෙම්වතාට හෝ සැමියාට පෞද්ගලික නර්තන ශිල්පිනියක් වෙන් කර දුන්නේ ත්‍යාගයක් ලෙසය. ලංකාවේ නම් බොහෝ ගැහැණු ළමුන් නර්තන ශිල්පිනියෙක් වෙන් කර දෙනවා තබා එවැනි තැනක අහලකින් වත් යාමට පැකිලෙන බව රොටියාට විශ්වාසය.

රටක සේක්පෝ තිබ්බොත් ඒ රටෙහි ඔක්කොම හරියන බව මේ ලිපියෙන් රොටියා අදහස් කරන්නේ නැත. නමුත් රටක දියුණුවත් සමග ජනතාව ඔවැනි දේ ගැන විවෘත මනසකින් බැලිය යුතු බව රොටියාගේ හැඟීමයි. සුද්දා වික්ටෝරියානු යුගයෙන් එලියට පැමිණ බොහෝ කලක් වී තිබුනද අපේ රටේ බහුතරයක් වික්ටෝරියානු මතය කරපින්නාගෙන ඉඳීම කනගාටුදායකය.

ලංකාවේ බොහෝ දෙනා ඉටුකරන්නේ යයුතුකම්ය. ජිවත් වන්නේ ලෝකෙට පේන්නටය. ඒ කියන්නේ තමුන්ගේ නැති හොඳ ගති මවාපාගෙනය. තමුන්ට නැති තත්වයන් මවාගෙනය. අතපය හතර හයිය තියෙන කම් ළමයින්ට කඹුරති. ළමයින්ගේ ළමයින්ට කඹුරති. යාන වාහන, මාලිගා වැනි ගෙවල් දුක සේ නඩත්තු කරති. වයසට ගොස් පිනට දහමට නැඹුරු වෙති. ලෙඩ ඇඳට වැටුණු පසු ජිවිත කාලය තුල කල කී දේ කල්පනා කරති, කාපු කෑමක් නැත- ගියපු ගමනක් නැත. ඊළඟට පසු තැවෙති. අනේ මට අරක කරන්න තිබ්බනේ, අපරාදේ මේක කළේ නැත්තේ.

එතනිනුත් එහාට තමුන් විසින් සලකන්නට යෙදුනු අයව උගස් තබති. "උඹල හින්ද මම ඇන්දේ නෑ කෑවේ නෑ" කියමින් ළමුන්ට කියති. එහෙම කියමින් පෙන්ෂන් මුදල ලැබුණු විට බෙහෙත් මිලට ගෙන ඉතුරු මුදලින් ළමයින්ගේ ළමයින්ට කඩචෝරු ගනිති. තමුන්ට කැමති කෑම ගැනීම ඊළඟ මාසයට කල් දමති. ළමයින් ද බැරි වෙලාවත් හෝ දෙමව්පියන්ට කන්න බොන්න කැමති දෙයක් ගෙන එන්නේ නැත. "අම්මලට පෙන්සන් එක හම්බවෙනවනේ" උන් කියති

අතපය හොඳටම වලංගු නැති වී , කල්පනාවටත් ටිකට් එක ලැබුණු කල ළමයින් එක්වී අර පෙන්ෂන් මුදලට මරා ගනිති. අවමගුල නම් ඉහලින් ගනිති

රටකට සංස්කෘතියක්, සභ්‍යත්වයක් ඕනෑමය. නමුත් එය ලෝකය දකින්නට විදින්නට බාදාවක් කර නොගත යුතුය. ඒඩ්ස් හැදෙන්නේ කොහොමද කියාවත් නොදන්නා සිඟිති ජාතියකට, අම්මාගෙන් දරුවා වෙන් කරන්න වලිකන ලාමක ඇමතිවරුන් පත්වන්නේ එන්න එතකොටය

එදා රොටියා සෙක්ස්පෝ නැරබීමට ඇතිවූ කැමැත්ත සභ්‍යත්වයට මුවාවී වහගත්තා නම් හෝ, රොටියාගේ ගෑණු ළමයා යන්න එපාය කියමින් නහයෙන් ඇඩුවා හෝ ඔය කියන්නේ කුමන ආකාරයේ ප්‍රදර්ශනයක් දැයි නොදැන එහි යාමේ ආසාව ද්වේශයකට පෙරලාගෙන රොටියාද සෙක්ස්පෝ විරෝදියෙක් වනු ඇත. පාලනය කර ගත් යුතු සමහර හැඟීම් ඇත. නොකළ යුතු සමහර දේ ඇත. ඒත් සංස්කෘතිය, සභ්‍යත්වය, සුචරිතවාදය ඉදිරියෙන් දමාගෙන ප්‍රකාශ කලයුතු, විඳිය යුතු දේ හිර කරගෙන සිටීම කුහක කමකි. එසේ ප්‍රකාශ කරන, විඳින පිරිස් වලට ගල් ගැසීම මුග්ධ කමකි. එහි අවසානය රහසින් හෝ පසු තැවීමයි. සිප ගත යුතු තැනදී, සිප ගැනීමට හිතෙන තැනදී සිපගෙන ආදරය ප්‍රකාශ කිරීමට අවස්තාවක් තිබුනා නම් මේ පොඩි දිවයින කොපමණ සුන්දරද?

අවසාන ලෙස කියනවා නම්, එදා සෙක්ස්පෝ ගිය රොටියාට ලිංගිකත්වය කියන්නේ ඔය කියන තරම් කෙහෙල්මලක් නොවන බව තේරුණේය.

Thursday, March 3, 2016

ඒඩ්ස් කිව්වාම ඒඩ්ස් යකෝ!!


කුලියාපිටියේ අයියාට ලියන වග නම් ;
අද උදේ බස් එකේ උඹට අසුන් දෙකක් ඉදිරියෙන් වාඩි වී සිටි සුදු ලස්සන නංගිව දැක්කාද?
උඹත් එක්ක ඈ හිනැහුනා මතකද?
ඔබ ඇය පිටුපසින් ගොස් , ඈ වැඩ කරන ඔපීසිය බලා ගත්තාට දැන් පලක් නැත්තේය
ඈට සහලෝලා ඒඩ්ස් ය..

කුලියාපිටියේ අක්කාට ලියන වග නම් ;
නුග ගහ යට කඩේ , දවල් කෑම එක මාර රසයි කියමින් උඹ දෙසා බානවා නේද
හැමදාම නැතුවාට උඹට උදේ නැගිටින්න පරක්කු උන දාට
එන්න ඒ කඩේ කොලුවාට , ඔන්න දැන් ඒඩ්ස් ය

කුලියාපිටියේ ඒඩ්ස් විරෝධී ජනතාවටලියන වග නම්;
ඒඩ්ස් කියන්නේ මොකද්ද, හැදෙන්නේ කොහොමද කියලා උඹලාට කියා පලක් නැත, වෙදැදුරන්ට වඩා උඹලා ඒ ගැන දනිති.
අර අහිංසක ළමයාගේ වෙද්‍ය වාර්තා ද උඹලාට හීනෙන් ගිය අධෝ වාතයක් ගානය
උඹලාට අනුව ඒ කොල්ලාට ඒඩ්ස් ය...
ලංකාවේ ඒඩ්ස් තියෙන්නේ ඌට විතරමය

පෙට්ටි කඩේ කමලා - යකෝ ඒ ගෑනි මිනිස්සු හතර දෙනෙක් එක්ක ගියේ නැතිබැරි කම හින්දා. ඒ අහින්සකිට ඒඩ්ස් කියන එවුන්ට හෙන ගහන්න ඕනේ
පහල ගෙදර විමලා - පොඩ්ඩක් දාන්ගලේ තිබ්බට එකී හරි අහිංසකයි. (බලන්න එපෑයැ ඇඳට ගියාම)
බස් එකේ සුනිල් - රට වටේ යන්නේ ඒ මිනිහගේ රස්සාවට
මල් ගෙදර සෝමපාල - ගෑණු ළමයෙක් වගේ..?
...
.....
.......
.........
මට - උඹට පිස්සුද?

කන්න ගියාම කබර ගොයත් තලගොයා වෙනවයි කියන්නේ කට කහන්වටද බොලව්
තලගොයා වගේද ඒඩ්ස්
ඒඩ්ස් කිව්වාම ඒඩ්ස් යකෝ!!!!