Wednesday, July 30, 2014

වයස හැත්තෑවේ කන්‍යාවී මං...

උඹ දැක්කනං මං තරුණ කාලේ..
දැන් ඉන්න කෙල්ලෝ හරියට නවදැලි හේනේ වැඳීරියෝ කියල උඹට හිතෙන්න තිබුණා..
මං පස්සෙන් වැද වැටීගෙන කොල්ලෝ ආව..
කොල්ලෝ ගොඩක් ආව..
මාත් කැමැත්තෙන් හිටියනේ බං කීප දෙනෙකුටම..
හැබැයි හිත යටින් විතරයි..
හැමෝගෙම මොකක් හරි පරහක් තිබ්බනේ..
මට අවුරුදු තිස් හයකුත් මාස හයක් වෙනතුරු මං ගැන බලාපොරොත්තුවෙන් උන්නු
හැමෝගෙම පරහක් තිබ්බනේ බං..
පෙළක් එවුන් උස වැඩියි, සමහරක් කොටයි
එකෙක් කලිසම ඇන්දේ බඩට ..
එකෙක් ඇන්දේ සරම..
එකෙක්ගේ ඔක්කෝම හොඳයි.. පරම්පරාව හරි නෑනේ බං..
ක්ලාක් කට්ටෝ කීප දෙනෙකුත් ආවනේ..
මං නං බඳී උන්ව.. මං, අපේ අම්මල තාත්තල එහෙම හෙව්වේ ලොකු රස්සාවක් තියෙන එකෙක් නේ..
නැත්තන් අඩුම ගානේ අක්කර විස්සක් තිහක්වත් තියෙන්න ඕනේ නේ..
------------
අවුරුදු තිස් හයකුත් මාස හයකට පස්සේ
ඔන්න මගේ හිත ගිය මිනිස්සු මාව බලන්න එන්න ගත්තනේ..
අපේ අම්මල තාත්තල හිට කැමති වුනු ඈයෝ..
උන් ඔක්කෝම මට කැමති උනා බං..
ඒත් කේන්දර ගැලපුනේ නෑලුනේ..
ඔව් මට බදින්න බැරි උනේ මගේ කේන්දරේ හින්ද බං
මල ඉලව් කේන්දරයක් හින්ද..

Wednesday, July 23, 2014

දවසකට හරි මාත් උනානේ ජාතිවාදියෙක්...

මට පෙන්නන්න බෑ..
මට මුස්ලිම්, දෙමල මිනිස්සු පෙන්නන්න බෑ
මේ අපේ රට
මේක අපේම රට, අපේම රට , ශ්‍රී ලංකාව
සුන්දර සිංහල මිනිස්සු ඉන්න සුන්දර රට
මම මෙහෙම ලියනකොට
අපේ ගෙදරට පැනලානේ හොරෙක්
ඔව්, හොරෙක්
ගෙදර මිනිස්සුන්ට ගහල අරන් ගිහින්නේ බඩු ගොඩක්..
හොරෙක්
මුස්ලිම් හොරෙක් නෙවෙයි
දෙමල හොරෙකුත් නෙවෙයි
සිංහලම සිංහල හොරෙක්..


ගෑණු වැරදි සහ පිරිමි වැරදි

ගැහැණු ළමුන් යනු පිරිමි අපට කිසිසේත්ම තේරුම් ගත නොහැකි උත්තරීතර සත්ව කොට්ටාශයක් බව රොටියා මින් පෙර කීප වතාවක්ම ලියා ඇති නිසා ඒ පිළිබඳව වෙනත් අටුවා ටීකා ලිවිම අනවශ්‍යය. එකම දේ නැවත නැවත ලියන්නට යාමේදී කියවන්නා වෙහෙසට පත්වන නිසා අඩු තරමේ ඒ එකම දෙය රොටියා වෙනස් වෙනස් ආකාරයට ලියනවා සේම, රොටියාගේ ගෑණු ළමයාද එකම දෙය විවිද ආකාරයෙන් නැවත නැවත සිද්ද කිරීම සම්බන්ධයෙන් පාශ්චාත් උපාධියක් කර ඇති ගානය. ඒ කියන්නේ රොටියාගේ ගෑණු ළමයාගේ වැරද්දක් පෙන්වා දුන් කල ඈ එය කිසිදු විටෙක නැවත සිදු නොකරන අතර, එම වැරැද්ද වෙනත් විවර්තිත ආකාරයකින් සිද්ද කරන්නද , ඊලඟට ඒ වැරැද්දේ සහ මුල් වැරැද්දේ වෙනස්කම් ගැන විග්‍රහයක් කරන්නද ඇය කෙළ පැමිණ සිටිනවාය

වසර ගානක පළපුරුද්දෙන් රොටියා එක දෙයක් ගැන සම්බන්දයෙන් නම් ඉස් ඉස්තිරයෙන්ම දන්නවාය. ගෑණු බහුතරයකටම වැරැද්දක් වැරැද්දක් ලෙස දකින්න නම් එය පිරිමියෙකු විසින් සිද්ද කල යුතු වන්නේය. ඒ අතුරිනුත් වැරැද්ද සිද්ද කළේ තමුන්ගේ දුකට සැපට ඉන්නා පිරිමියා නම් අන්න එතන ගිනි විජ්ජුම්බරයය. (රොටියාට සමහර විටෙක සිතෙන්නේ , රොටියාගේ ගෑණු ළමයාට ලෝකෙ නරකම පිරිමින් අතුරින් මුලටම පෙනෙන්නේ රොටියාව බවය. රොටියා ඕක කියන්නට ගොස් මේ ළඟදීද ගෑණු ළමයාට යකා නැග්ගේය). පස්සෙන් පහුගිය දිනකදිද ඔය මේල් (Male) වැරදි සහ ෆීමේල් (Female) වැරදි ගැන රොටියාට ප්‍රායෝගික අත්දැකීමක් ලැබුණි.

ඒ කතාව සැකවින් මෙහෙමය. පහුගිය දිනකදී රොටියාට දින කිහිපයකට විදෙස් ගතවන්නට සිදුවූ අතර, හැමදාමත් මෙන් රොටියාගේ ඔක්කෝම ආම්පන්න අසුරා දුන්නේද ගෑණු ළමයාය. (ගෑණු නැති වූ කල පිරිමින් වූ අපට මෙවැනි වෙලාවලදී නම් මොනාවයින් මොනවා වේවිදැයි කියන්නට බැරිය)නිවසින් හැඳ පැළඳ හිස් අතින් එන රොටියාට, ගෑණු ළමයා විසින් විසින් අසුරා ඇති බෑගයද ඊළඟට ලියකිවිලි දැමු ෆයිලයද ලැබේ.

ගමන ගොස් නැවත ලංකාවට සැපත් වූ රොටියාගේ දෙලෝ රත්වන්නට වැඩකටයුතු සිද්ද කරමින්, රොටියාගේ බැංකු පොත් රාජයා ලියකියවිලි අතුරින් අන්තරස්ධාන වී තිබුණි. යන හැමතැනකම අරන් යන නිසා, දියවී කුනුමාළු කෑල්ලක් සිහිගන්වන රොටියාගේ බැංකු පොත වෙනුවට , ATM කාර්ඩ් පතක් ගන්නා ලෙස හැමදාම ඇසෙන ගෑණු ළමයාගේ අවවාද ද මාර සේනා මෙන් රොටියාගේ හිතට කඩා වදින්නට විය.

රොටියා හැරෙන තැපෑලෙන්ම ඇමතුමක් ගත්තේ ගෑණු ලමයාටය

රොටියා: මේ මාර වැඩේනේ..

ගෑණු ළමයා: ඇයි මොකද වෙලා තියෙන්නේ?

රොටියා: මගේ බැංකු පොත මිස් ප්ලේස් වෙලානේ

ගෑණු ළමයා: ෂෝක්.. ඔය ටික කරගන්නකන් ඔයාට නින්ද ගියේ නෑනේ..දැන් කොහෙදිද නැති වෙලා තියෙන්නේ

රොටියා: දන්නේ නෑ අනේ..

ගෑණු ළමයා: නැවතුනු හොටෙල් එකට කෝල් කරලා බැලුවද?

රොටියා: අමතක උනානේ..

ගෑණු ළමයා: ඔයාට නං කියල වැඩක් නෑ අනේ. ඉක්මනට කෝල් කරන්න. මං නැත්තන් ඔයා මොනවා කරගනීද දන්නේ නෑ

නැවතුනු හෝටලයෙන්ද කිව්වේ එහෙව් බැංකු පොතක් රොටියාගේ කාමරයෙන් සොයා නොගත් බවයි

රොටියා: එහෙත් නෑලු..

ගෑණු ළමයා: බැලන්ස් එක චෙක් කරන්න. බෑන්ක් එකට ඉන්ෆොර්ම් කරන්න. අලුත් පොතක් ඕනේ කියන්න.

රොටියා: මම ඔයාට එහෙම අරන් තියන්න කියල දුන්නේ නෑ නේද..

ගෑණු ළමයා: පිස්සුද අනේ.. ඔයා ඉතින් ඔක්කොම කරගෙන අන්තිමට මාව අල්ලන්න. හැමදාම ඔහොමයි

ඉක්බිතිව රොටියා බැංකුවට කතා කොට සිද්දිය විස්තර කල පසු, ඔවුන් පැවසුවේ නැතිවූ පොත වෙනුවට වෙන පොතක් දිය නොහැකි බවත් ඒ වෙනුවට මොකද්දෝ කාර්ඩ් අටමගලයක් ලබා දිය හැකි බවයි. බැංකු හා සබැඳුනු ක්‍රියා පිළිවෙලවල් කවදත් රොටියාට අරහං බැවින්, ඒ කතාවෙන් රොටියාට වැටහුණු එකම දෙය නම් පොලිසියකට ගොස්, පොත නැතිවූ බවට පැමිණිල්ලක් දමා, එය රැගෙන බැංකුවට පැමිණි කල රොටියාගේ බැංකු ගිණුමෙන් මුදල් ගන්නා පිළිවෙලක් සකසා ගත හැකි බවයි

ගෑණු ළමයාට විස්තරේ පැවසු පසු රොටියාට කනපුරා අවවාද (ගෑණු ළමයා ඒවාට අවවාද යයි කිවත්, රොටියා එවැනි දේට කියන්නේ බැනුම් කියාය) ලැබුණු අතර, ඊළඟ දවසේ රොටියා සමග බැංකුවට යෑම පිණිස පැමිණීමටද ඇය ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වුවාය.

පහුවෙනිදා පාන්දරින්ම , ඇඳෙන් බහින්නටත් පෙර රොටියාට ඇමතුමක් ලැබුනේ ගෑණු ලමයාගෙනි

ගෑණු ළමයා: ඔයාට අද සප්‍රයිස් එකක් තියෙනවා..

රොටියා: (කලින් දවසේ රොටියා අතින් සිද්ද වුනු වැරැද්ද ඈට අමතක වී ඇතැයි යන සතුටු සිතින්) ඒ මොකද්ද....

ගෑණු ළමයා: ගෙස් කරන්න..

රොටියා: (මෙච්චර තොදොල් වන්නේ ඇයි දැයි සැක සංකා සහිතව) අද ඔයා ලන්ච් හදල මටත් ගේනවා...

ගෑණු ළමයා: (මල අතේ තියාගෙන) මට උයන්න බැරි එක ඔයාට ඔච්චරම ප්‍රශ්නයක් නන් උයන්න පුළුවන් කෙනෙක් බදින්න..(ඈ තාම උයන්නට නොදන්නා අතර ඇගේ ඉවුම් පිහුම් ගැන රොටියා වෙනම කතාවක් පසුව ලියනවාය)

රොටියා: විහිළුවක් අනේ කළේ.. මොකද්ද සප්‍රයිස් එක..

ගෑණු ළමයා: හිතන්නවත් බැයිද..

රොටියා: බෑනේ..

ගෑණු ළමයා: (තාල තියමින්) ඔයාගේ බැංකු පොත මට හම්බුනා

රොටියා: ඔයා කිව්වේ ඔයා ළඟ නෑ කියල..

ගෑණු ළමයා: මං කිව්වේ ඔයා මට දුන්නේ නෑ කියලනේ. කොහොම හරි ඔයා යන දවසේ ,මම ඒක පරිස්සමට අරන් තියල තියෙනවා. බලන්න, මම ළඟ තිබ්බ හින්ද පරිස්සන් වෙලා තිබ්බ..


Sunday, July 20, 2014

ඒ ලෙවෙල් කතා වස්තුව - රොටියාගේ සුබ පැතුම

රොටියාගේ ගෙදර පොඩිම එකා මේ ටිකේ ඉන්නේ උඩය.උඩ කියන්නේ අර රොටියාගේ ගෙදර තට්ටු දෙකකි යයි පවසා නයා අරින්නට නෙවේය. උඩ කියන්නේ ඌ මේ ටිකේ ඉන්නේ පොලවේ පයගසා ගෙන නොවේ කියන එකය. ඌට පවුලේ ඔක්කොම එකතු වී සලකන්නේ රජෙකුට මෙන්ය. හොස්ස ලඟින් යන කෝඳුරුවෙකුට වුවත් වෙඩි තබන මානසික මට්ටමක පසුවන ඒකාව රාජකීය මට්ටමට ඔසවා තබා ඇත්තේ ඒ ලෙවෙල් නොහොත් උසස්පෙළ විබාගය ය.

පසුගිය අවුරුදු දෙකහමාර තුන තුල ඒකාගේ දින චර්යාව වෙනස් වුනේ මෙන්න මේ විදියටය
1. ඉස්කෝලේ යනවා. (මෙය සියයට අසුව යයි කියන කෙහෙල්මල සම්පුර්ණ වෙනකන් සිද්ද වී ඊළඟට නැත්තටම නැති වී ගියේය)
2. කනවා (මෙය අසාමාන්‍ය ලෙස වර්දනය විය. පාඩම් කරන විට එන නිදිමතට එකම විසඳුම කෑම යයි ඇදහු නිසා මේ වන විට ගෝලාකාර ස්වාබාවයකට පත්වී සිටියි)
3. පාඩම් කරනවා( මෙය සිද්ද වුනේ අමුතුම ශ්‍රේණියකට අනුවය. පාඩම් කරන සෑම විනාඩි පහකට සැරයක් විනාඩි දහයක විවේකයක්ද, පැය බාගෙකට වරක් කෑම සඳහා පැය කාලක්ද, පැයකට වරක් ගේ වටේ ඇවිද ඒමට විනාඩි විස්සක විවේකයක්ද ආදී ලෙස මේකා රොටියාව මෝල් වෙන අන්දමේ පාඩම් කිරීමක යෙදුනාය)
4. ටි වී බලනවා (මනස විවේක ගන්නට..)
5. නිදියනවා (දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම ඉරියව්වකින් නිදා ගැනීමට මේ වනවිට ලෝක ප්‍රසිද්ද තත්වයට පත්වී හිඳියි)

මේ ටිකේ යකා තත්වයට පත්වී ඇති නිසා ,රොටියා, පොඩි එකාට කතා කරන්නට පෙර " බලුගැත්තාට සමාව අවසර" යනුවෙන් සමාව ඉල්ලා, දෙවනුව අවශ්‍ය කාරණය පවසනවාය. (රොටියා මෙසේ කියන විට උගේ බැල්ම මිනීමරු වී, කතාව මාරාන්තික වෙයි)

කොහොම කිව්වත්, ඒ ලෙවෙල් යන්නෙහි මිහිරි රසය රොටියාද විඳ ඇති නිසා , රොටියාට උගේ මානසික මට්ටම තේරුම් ගත හැක. රොටියාගේ පොඩි එකා පමණක් නොව, ඒ ලෙවල් කරන හැම එකා ගැනම රොටියාට පුදුමාකාර අනුකම්පාවක් දැනෙන්නේ, එව්වන් ඔක්කෝම ජිවිතයේ මුහුණ දෙන අමාරුම හා තීරණාත්මකම තරඟ විබාගයට මුහුණ දෙන බව මතක් වෙද්දීය

රොටියාට , ගෙදර පොඩි එකාත්, මේ රටේ ඉන්නා ඔක්කොම පොඩි එවුනුත් එකය. ඒ ඔක්කොම එව්වන්ට, අගෝස්තු පස්වෙනිදායින් පටන් ගන්නා උසස්පෙළ විබාගයට හොඳින් පාඩම් කරගන්නටත්, පාඩම් කරන දේ මතක හිටින්නටත් රොටියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවාය. මෙහෙම කියන්නේ මේ ටික විබාගයට කලින් දවසේ කියා වැඩක් නැති නිසාය. පාඩම් කරනවානම් කරන්න ඕනේ දැන්ය..

එකෝමත් එක දවසක - දවසක් දා 06

පළමුව මූණු පොත හරහා ගොඩ නැගුනු කතාබහ ක්‍රමයෙන් ඩයලොග් දුරකථන ජාලයට සම්ප්‍රාප්ත උනේ ඔන්න ඔය ආකාරයටය. ඇගේ කිංකිනි හිනා හඬට මම වශී වීමි. හිනා හඬ අසා මගේ හිතේ මැවුනේ නම් හීනි පොඩි කෙල්ලෙකි. නමුත් ඈ කියනා ලෙසට ඇය තලෙලලුය (කිව්වේ මගේ පාට කළු කියාය). මදක් මහතය. අගේ කරන්නට සිතාදෝ කොපමණ ඉල්ලීම් ඉදිරිපත් කලත් මුණු පොතට ඇත්ත රුපයක් දැම්මේ ඇය නොවේය.

ගෙම්බාගේ ගෑණු ළමයාද, ඇය ඉගෙන ගන්නවා යයි කියන පවුද්ගලික අද්යාපන ආයතනයට ඇතුළු උනේ ඔන්න ඔය අතරය. උදේ හවස මගේ ජීවිතය වර්ණවත් කරන කිංකිනි හිනාවේ හිමිකාරිය කව්දැයි දෑසින් දැකබලා නොගතහොත් උමතු වන මට්ටමේ සිටි මට එතැනින් පොටක් පෑදුණේය.

සිනා සලන්නිය, ඉතා ඉක්මනින් කේන්ති ගන්නියක් බවද මේ ටිකට මට වැටහී තිබුණු නිසා ඉල්ලීම ඉදිරිපත් කල යුතුව තිබුනේ බොහෝ පරිස්සමෙනි. ඈට පැය ගානක් මා සමග කතා නොකර සිටින්නට වචනයක් වැරදීම හොඳටම ප්‍රමාණවත්ය. අදහස දුන්නේ ගෙම්බාය. පැය තුනක් තිස්සේ ගලපා ලස්සන කතාවක් අමුණා ගත් මම ඈට දුරකතන ඇමතුමක් ගත්තෙමි.

" මේ මගේ යාලුවෙක්ගෙ ගර්ල් ඕගොල්ලන්ගේ ජුනියර් බැච් එකට ඇවිත් තියෙනවා. එයාට ෆර්ස්ට් යුනිට් එක අමාරුලු. ඔයාට පුලුවන්ද පොඩි හෙල්ප් එකක් දෙන්න"

ඉගෙන ගන්නා දේකට ඇය හතරගාතයෙන්ම පැන උදව් කරන බව ආයේ අහන්නත් දෙයක්ද

" අපෝ ඕක මොකද්ද එන්න කියන්න, මට ෆ්‍රී ටයිම් එකක එන්න කියන්න.."

මම පස්වනකුත් තව එකකුත් ප්‍රීතියෙන් පිනා ගියෙමි. ගෙම්බාගේ ගෑණු ලමයාවද මම හොඳින් අඳුනන නිසා දැන් කොල්ලා ගොඩය. ගෙම්බාගේ අදහස මේකය. උගේ ගෑණු ළමයා ඈව දැක බලාගෙන ඊළඟට ඇය ටිකක් හෝ රූමත් නම් දෙවනුව මා ගොස් ඇයව මුණගැසිමය. ඇගේ පෙනුම මට ගැලපෙන්නේ නැත්නම් මේ වැඩේ හෙමිහිට නවතා දැමීමය

නමුත් ගෙම්බාට පවා එවෙලේ පැවසීමට හිත නොදුන් නමුත්, ඒ මොහොත වන විට අර කිංකිනි හිනාවට මම ගැලවෙන්නට නොහැකි ලෙසටම තදින් ඇලි සිටියෙමි. මදක් කල්පනා කරන විට, අවුරුදු හයක් තිස්සේ ලස්සනයයි කියාගන්නා කෙල්ලෙකු පසුපස ගොස් නා ගත් අත්දැකීම්ද සහිතව සිතන විට මට තේරුම් ගියේ මාද රිතික් රෝෂන් හෝ ටොම් කෘස් නොවන බවය. මමද මහතය. ගෑණු ළමුන් ලස්සන යයි සලකා උවමනාවෙන් බලන දේහ ලක්ෂණ බොහෝමයක් මවෙත නොවිණි. රුපය කුමක් වුවත්, හැමවිට හිනැහී ඉන්නා ගෑණු ළමයෙකු සමග ජීවත්වීම කොපමණ සුන්දරද? (ඒ හිනා යටින් තිබූ දත්මිටි කෑම් හෝ තරහෙන් කෑ ගැසීම් ගැන එකල මම දැන උන්නේ නැත)

කෙසේ නමුත් වන්නක් වේවායි සිතා, කතා කරගෙන සිටි සැලසුමේ ආකාරයට ගෙම්බාගේ ගෑණු ළමයා ගොස් ඈව දැක බලාගෙන පැමිණියාට වරදක් නැතැයි මට අන්තිමේදී සිතුනි.

එහෙම හිතා ඉවරවෙන්නත් පෙර මෙන්න ඈගෙන් දුරකථන ඇමතුමක්..

" ඔයා හිතන් ඉන්නේ එක එක ලමයින්ව එවල , මං කවුරු වගේද කියල බලාගෙන යන්න නම් කරුණාකරලා ඒ ගෑණු ළමයට කියන්න තෝලක කම් කරන්නේ නැතුව යන අතක් බලාගෙන යන්න කියල" (ගෑණු ළමයින්ට තුන්වෙනි ඇසකුත් තියෙන බව මම දැනගත්තේ එදාය)

මම අමාරුවෙන් කටහඬ සාමාන්‍ය තත්වයේ තියාගෙන කතා කරන්නට උත්සහ කලෙමි. මෙලෙස කියන දේ මුණටම දමා ගසන ගෑණු ළමයෙකු මට මිට පෙර මුණ ගැසී නොතිබුණු නිසා, ඇත්තටම මම පොඩ්ඩක් දෙදරී උන්නෙමි. " නෑ එහෙම එකක් නෑ.. ඇයි ඔයාට එහෙම හිතුනේ.."

" ජුනියර් බැච් එකේ ෆර්ස්ට් යුනිට් එග්සෑම් තියලත් ඉවරයි. ඔයා නිකන් බාල වැඩ කරන්න හදන්න එපා. ඔයාට ඕනේ නම්, වැදගත් විදියට අපි මිට් වෙමු. ඔය හැංගි හොරා වැඩ නම් මට පේන්න බෑ.." ඇය දඩස් ගා ඇමතුම විසන්දි කළාය.

මම හිටි විදියටම විනාඩි කීපයක් හිටියේ, සිහි එලවා ගන්නටය. ඈ හිතා උන්නේ ඈ ඇන්ජලිනා ජොලි කියාවත්ද..?

මම හැරෙන තැපෑලෙන් ඇමතුමක් ගත්තේ ලපයාටය. මේ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ ඌ ළඟ බව මට මගේ හිත කිවේය. මගේ පිරිමි කමට ඈ එල්ල එක ඊතලය වැදුණු තැන තුවාලය ඒ වනවිටත් රිදුම් දුන්නේය. මා කොන්දක් නැති, පණක් නැති එකෙකු කියා හිතා ඉන්නවා නම් ඈ එලෙසෙම උන්නාවේ. මට මෙවැනි ගෑණු ළමුන් නැතුවාට කමක් නෑ..

මා කියූ සියල්ල ලපයා සාවදානයෙන් අසා උන්නේය. " මචං ඔන්න මේ පාර නම් උඹ නියම ගෑණු ළමයෙකුට සෙට් වෙලා තියෙනවා. ඕක එහෙම නම් අත ඇරගන්න එපා.." ඌ කිව්වේ මා බලාපොරොත්තු වූ දෙය නෙවේය. මට ඌ සමග ආවෙත් සුළුපටු කේන්තියක් නම් නොවේ

"යකෝ" යයි පටන් ගෙන, මේ මල හෝන්තු ගෑණු සමයමගේ ඌට පෙනෙන හොඳේ මොකද්දැයි මම උගෙන් ඇසුවේ අසන්ෂික්ප්ත සිංහලයෙනි (සුදු නම් තව කමක් නෑ කියමුකෝ). ලපයා පිළිතුරු දුන්නේ පාලි සංස්කෘතියෙනි. ඌ දුන් පිළිතුරේ සරලම අදහස මේකය

" උඹට ඕනේ " අයියු හුයියෝ.. කියාගෙන නලවන, හිතේ එකක් තියන්, වෙන ඒවා දොඩෝන කෙල්ලෙක්ද? පියරු බබෙක්ද.. නැත්තන් පොලවේ පයගහල ඉන්න කෙල්ලෙක්ද.. උඹ කතා කරන්නේ නැත්තන් මට කියපන්.. මං හරිම කැමතියි හිතේ තියෙන දේ එහෙම්ම කියන කෙල්ලෙකුට.. ඇත්තටම කියපන්.. මම කැමතියි දැකල නැති උනත් ඔය කෙල්ලට.."

ඌ ඒක නම් කිව්වේ ඇත්තටමය. ගෑණු ළමයෙකු නැතුව ( එක්කෙනෙක් නැතුවාට ඌට කීප දෙනෙකුම උන්නේය) වේලෙන ඌට අදටත් මගේ ගෑණු ළමයාව දකින විට නලියන ගතියක් ඇත

ඇගේ කතාව, ඇගේ පැත්තෙන් සාදාරන බවත්, මා නොපමාව ඈව හමුවිය යුතු බවත් , මම මටම ගිවිස ගත්තේ එදාය..




Sunday, July 13, 2014

සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ.....

හුළඟට අහුවෙච්ච වරා මලක් හුළඟ හමන ඕනිම දිහාවකට පාවෙලා යනව. හරිම සැහැල්ලුවෙන්. වරා මලට හිතෙන්නෙ තමන් බොහොම නිදහසේ තමන්ට ඕනි විදිහට පාවෙනව කියල. ඒත් වරා මල දන්නෙනෑ තමන් පාවෙන්නෙ හුළඟට ඕනි විදිහට කියල. අපේ හිතත් ඒවගේ. සුන්දරයි කියන මායාවෙන් අන්ධවෙලා ඒ සුන්දරයි කියන දේවල් වලට අනුව ඔහේ පාවෙලා යනව. හුළඟ නැතිඋනහම ඔය කොහේහරි තැනකට වැටෙන වරාමල වගේමයි අපේ හිතත්. ලස්සනයි කියල අසාවෙන් අල්ලගෙන හිටපු දේවල් අපේ අතැඟිලි අතරින් හෙමිහිට ගිලිහිලා ගියහම හිතත් වැටෙනව. වරාමල වගේම වැටෙනව. හැබැයි හිතට ගොඩක් රිදෙනව, ගොඩක් අඬනව. වරාමල වාගෙම ආයෙත් හිතට දැනෙන ලස්සන දෙයක් ආවහම රිදුනබව, අඬපුබව වගේම වැටුණුබවත් අමතක කරල පාවෙන්න ගන්නව. තමන්ගෙම හීන ලෝකෙක පාවෙන්න ගන්නව.
ඔයත් හරියට වරාමලක් වගේ. සුදුයි ලස්සනයි ඒවගේම හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ. ජීවිතේ කිසිම බරක්පතලක් ගණන් ගන්නෙ නෑ. තවමත් හිතන්නෙ පොඩි කෙල්ලෙක් වගේ. හැබැයි ජීවිතේ ඔයා හිතන තරම් සැහැල්ලු නෑ. මම දන්නවා ඔයා මේ දවස්වල කූඩුවක් හදනව කියල. ආදරණීය කුරුල්ලෙක් එක්ක. හැබැයි මම දන්නව ඔයා කූඩුව හදන්නෙ සුළං කපොල්ලක කියල. හමන සුළංපාර හරිම සැරයි. නිතරම සුළං හමනව. පරිස්සමින් ඉන්න, කොයි වෙලාවක හරි කූඩුව කැඩිල බිඳිල යන්න පුළුවන්.
මම තනිකඩ කුරුල්ලෙක් හැටියට ඉන්න තාක්කල් ඔයාට ඕනිකරන ඕනිම උදව්වක් කරන්න මම පොරොන්දු වෙනව. හැබැයි ගෙදරින් කරන බලකිරීම් ඉවසන්න බැරිම තැන මටත් කුඩුවක් හදන්න සිද්දඋනොත් විතරක් මට ඒ උදව්ව කරන්න බැරි වෙයි. මොකද එදාට මට බලාගන්න මගේම කියල කිරිල්ලියක් ඉන්න නිසා.....


එකෝමත් එක දවසක - දවසක්දා 05

සිහිවන විට හීන් කිතියකින් හද ඔද්දල් වන සිත්තටික් සිහිනයක කෙමෙන් කෙමෙන් මා ගිලී යමින් ඉන්නා මාව මටම දැනිණි. ටිකෙන් ටික මේ ගෑණු ළමයා මගේ හිත ආක්‍රමණය කරන්නට වුවාය. නමුත් මා කවදා හෝ පෙම්වතිය කරගන්නට සිහින මැවූ සුදු ලස්සන ගෑණු ළමයා ඈ නම් නොවන බව මට වැටහුනේ ඇයගේම කතාවෙනි.

අලුත් පෙම් කතාව දැනගත් ලපයා ඒ සඳහා මාව දිරිගැන්වුයේ ඇත්තටම මාව විස්මයට පත් කරවමිනි. "යකෝ.. උඹ ඔය හොයන කැරපොතු බෝනික්කන්ට වඩා, පොලවේ පැය ගහල ඉන්න ගෑණු ළමයෙක් වටිනවා බං. මොකෝ උඹ කියලත් කුමාරයෙක් වගේ පෙනුම තියෙන එකෙක් නම් කමක් නෑ.."

ගෙම්බාගේද ප්‍රතිචාරය මේ හා සමාන විය. ඉතින් ගෑණු ළමයාගේ කැමැත්ත අකමැත්තවත් නොදැන උන් මගේ හිත කැමැත්ත හා යතාර්ථය අතර දෝලනය වන්නට විය. මෙපමණ කලක් හදවතට එකඟව ආදරය කොට අනාගෙන හතරවටේ ගා ගත් මම, මෙවර බුද්ධියට අවස්තාවක් දීමට අන්තිමට හිත හදා ගත්තෙමි

මා ඇගේ දුරකථන අංකයවත් අඩු තරමේ දැන උන්නේ නැත. ඊළඟ දිනයේ මුහුණු පොතේ සංවාදය අතරතුර මම ඇගේ දුරකථන අංකය විමසු අතර, පැනයත් සමගම ඈ සංවාද ලැයිස්තුවෙන් අන්තර්ස්ධාන වූවාය. ඕනෑ මගුලක් වෙන්නටයි හිතා මම මගේ දුරකථන අංකය ලියා ඇයට පණිවුඩයක් තැබීමි. කැමති නම් එවන්නේ නැතැයි..

දවස් කීපයක් නිශ්ශබ්දවම ගෙවුණි.. එක් දිනක් හදිසියේම නොදන්නා ඩයලොග් අංකයකින් පැමිණි පණිවුඩයක් මෙසේ විය..

"ඔයාගේ මුණුපොතේ නුදුටු යාලුවන්ගෙන් එක්කෙනෙක් මේ පණිවුඩය එවනවා.."

ඒ කව්දැයි සොයන්නට මට නැවත පොත් පෙරලා බලන්නට උවමනා නොවිය. හැරෙන තැපෑලෙන්ම මෙසේ යැව්වෙමි

"මට ඉන්නේ එක නුදුටු යෙහෙලියක් පමණයි. ඔයා _________ නේද?

පසුව මම දැනගන්නට යෙදුනු පරිදි ඇගේ පැත්තෙන් මුලින්ම මා ගැන විශේෂ හැඟීමක් මෝදු වී ඇත්තේ එදාය

එක් දිනකදී ඈ හා මා අතර චැට් පණිවුඩ කියක් හුවමාරු උණාද යත්, හදිසියේම ඇගේ කටහඬ ඇසීමේ නොනිත් ආසාවකින් මගේ හිත පෙලෙන්නට විය. ඇයට ආයාචනා කොට පලක් නොවුණු තැන මුරණ්ඩු ලෙස මම ඇයට ජිවිතයේ ප්‍රථම වරට ඇමතුමක් ගත් අතර ඇය ක්ෂණිකව එය විසන්දි කළාය. දෙවන ඇමතුම ලබාගැනීමේදී ස්වයංක්‍රිය වාදනයෙන් කියවුනේ ඈ දුරකථනය ක්‍රියා විරහිත කොට ඇති බවයි..

මගේ හිත කඩා වැටුණි.. දුරදිග නොබලා සිදුකල දේ නිසා යාලුකමත් නැතිවිදෝ යයි සැකයකින් හද කොනිති ගැසුවේය. සමාව ඉල්ලා පණිවුඩයක් යැව්වද එය ඈ වෙත ළඟාවූ බවට කිසිම සඳහනක් නොවිණි. සෑහෙන වෙලාවකට පසුව ඇගෙන් මෙන්න මට පණිවුඩයක්..

"මට තියෙන්නේ බෙලෙක් කටහඬක්.. ඔයා බයවෙයි මාත් එක්ක කතා කලොත්.."

මම පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ උනෙමි. ඈ මා සමග අමනාප වී නැත..

දින දෙකක් තිස්සේ පින්සෙන්ඩු වීමෙන් පසුව ඈ මා හා කතා කරන්නට එකඟ වුවාය.. හැබැයි විනාඩි දෙකයි..

ඉතින් රුපියල් දෙසිය ගානක රිලෝඩයකින් සන්නද්ද වූ මම එකෝමත් එක දවසක හවස් යාමයක මගේ නුදුටු මිතුරියට හා පුරා කියා ඇමතුමක් ලබා ගතිමි

දුරකථනය නාද වෙන හඬ මට ඇසුනි. ගන්න පාටක් නැත.. මගේ හද ගැස්ම මටම ඇහේ..

සැලකිය යුතු වෙලාවක් ගතවූ පසු මගේ බලාපොරොත්තු වියැකී යන්නට ඔන්න මෙන්න තිබියදී ඈ ඇමතුම ලබා ගත්තාය..

අප දෙදෙනාම ටික වෙලාවක් යනතුරු කතා කළේ නැත. ඈ හුස්ම ගන්නා හඬ මට ඇසුනි. නිහඬතාවය දරා ගත නොහැකි තැන මම කතා කලෙමි..

"හෙලෝ.."

මගේ ජිවිතයේ ඇසු මිහිරිම සිනාවද ඊළඟට ඇගේ කටහඬද මට ඇසුනි.." හෙලෝ ඔය ... ද?"

"කවුද අනේ ඔයාගේ කටහඬ කැතයි කියන්නේ.."

ඈ නොනවත්වාම හිනැහෙන හඬ මට ඇසුනි. විස්වාස කරන්න .. මුල්ම රුපියල් සියය කැපෙන තෙක්ම මගේ සඳවතිය හිනැහුනා පමණය..





Monday, July 7, 2014

මගෙ මුළු ලෝකෙම......

හැමදාම වැඩ වැඩ කියමින් ලියන එක මග හරින එක නරක වැඩක් බව මම දන්නවා,ඒත් ඊටත් වඩා නරක දෙයක් මගේ අතින් උනා.කෙනෙක් ලියල එවපු දෙයක් පල කරන්නේ නැතිව මාසෙකට ළඟ කාලයක් මා ළඟ කුරුවල් උනා. වැරද්දක් දැන දැනම සිද්ද කරලා ඊළඟට රෙද්දක් ඇඳගෙන සමාව ඉල්ලන්න නම් මට බෑ. ඒත් රොටියා අතින් සිදු උනු අතපසු වීම සඳහන් කරන්නේ ඉතාමත් කනගාටුවෙන්. කවුද කියල සඳහන් කරන්න එපාය කියල විශේෂයෙන්ම කියපු නිසා කතෘ ආයෙමත් නිර්නාමික විදියටම තියන්න වෙනවා.

------------------------

“මට එයාව නැති කරගන්න බෑ. මගෙ මුළු ලෝකෙම ඉන්නෙ එයා විතරයි”
ලඟදි දවසක, මොකක්හරි හේතුවකට ඔයා මට එවපු කෙටි පණිවිඩයක, එහෙම සටහන් වෙලා තිබ්බ. “මොකක්හරි හේතුවකට” කියල කිව්වට හේතුව මොකක්ද කියල මම දන්නව. එහෙම කියන්න හේතුවෙච්ච සිද්දිය ඔයා අර්ථදක්වපු හැටි, ඒ සිද්දියට ඔයා දක්වපු ප්රෙතිචාරය ඔයාම සාධාරණීකරණය කරපු හැටි ඇත්තටම බොහොම හොඳයි. සාමාන්යවයෙන් ඔයා මොනවහරි කිව්වහම ඒකට මමත් මොනවහරි දෙයක් එකතුකරන එක එහෙමත් නැත්තං ඔයා වැරදී කියල තර්ක කරන එක, ඔයත් එක්ක රණ්ඩු කරන එක මගෙ හැටි. ඒත් එදා ඔයා කියපු දේවල් වලට මම කිව්වෙ “ඔයා කැමති දෙයක් කරන්න. මම හා කියලවත් එපා කියලවත් කියන්නෙ නෑ” කියල විතරයි.
ඕනිම කෙල්ලෙක් තමන්ගෙ ආදරවන්තයා ගැන හිතන්නෙ “එයා තමයි මගෙ මුළු ලෝකෙම” කියල. ආදරය කරන්න ගත්තහම එහෙම හිතෙන එක හරිම ස්වභාවික දෙයක්. හැබැයි ආදරය කරන්න ගත්තහම ඔයා එක දෙයක් අමතක කරල. නිතර දකින කුකුලගෙ කරමලය සුදුයි කියල කියනව වගේ, අවුරුදු විසිගානක් දවස් තුන්සිය හැටපහම පැය විසි හතර පුරාවට ඔයාට පණ වගේ ආදරය කරපු, ඔයාට විතරක්ම ආදරය කරපු, මුළු ලෝකෙම ඔයාම වෙච්ච අම්මයි තාත්තයි ඔයාගෙ ඔය පුංචි ලෝකෙ ඇතුලට දාගන්න ඔයා අමතක කරල. මාස කීපයක ආදරයකට අසීමිත ආදරයක් සින්නකරල. සමහරවිට ඔයා කියයි ඒක ආදරයේ හැටි කියල. ආදරය බොළඳයි කියලත් මට පණ්ඩිතකම් කියයි. ඒත් කවදාහරි ඔයාගෙ ලෝකෙන් “එයාට” යන්න සිද්ධඋනොත්? එහෙමත් නැත්තං “එයා” ඔයාව දාල ගියොත්?
ඔයාට දුක කියන්න කවුරුත්ම නැති උනහම, ඔයාගෙ දුක අහන්න කවුරුවත්ම නැති උනහම, ඔයාගෙ ලෝකෙම වෙච්ච කෙනා ඔයාගෙ “කෝල්ස්” වලට “ආන්සර්” නොකර ඉන්නකොට, ඔයාගෙ “මැසේජ්” වලට “රිප්ලයි” නොකර ඉන්නකොට, “එයා” හොයාගන්නවත් නැති විදිහට අතුරුදහන් උනහම, ඔයාට තේරෙයි අරවිදිහට තුට්ටුදෙකට සින්නකරපු අසීමිත ආදරේ වටිනාකම. අන්තිමට “මොනදේ උනත් කමක්නෑ දුවේ උඹට අපි ඉන්නවනෙ” කියල ආදරෙන් ඔලුව අතගාල ඔයාව සනසන්න, ඔයාගෙ දුක බෙදාගන්න ඉන්නෙ ඔයාගෙ ලෝකෙන් පිටුවහල් කරපු “අම්මයි” ”තාත්තයි” විතරයි.



Tuesday, July 1, 2014

එකෝමත් එක දවසක - දවසක්දා 04

මගේ ජිවිතයේ යුගයක් ආරම්බ ඔයාකාරව ඊ බඩී සමගය . ගිනිපෙනෙල්ලෙන් බැට කා උන් මා කනා මැදිරියාටත් බය උනා නොවේ . එත් ඇත්තම කිවහොත් මේ නවයුගය මට එතරම්ම හිතට ඇතුළු වී තිබුනේ නැත . මුලින්ම එය කොලුවයසේ හුන් කොල්ලෙක් , කොලුකමට ගෑනු ළමයෙකු සමග කල කතාවක් පමණක්ම විය

ඊට පසු දින දෙක තුනක්ම මම ඈ සමග කතාවට එකතු වීමි . ටිකෙන් ටික ඇය මට ඇගේ තොරතුරු පවසන්නට යෙදුනාය
"හයියෝ මට එපා වෙලා තියෙන්නේ . මේ ප්‍රොජෙක්ට් එක .." ඒ දිනවල ඇය ඇගේ උසස් අධ්‍යාපන පාටමාලාව සඳහා ව්‍යාපෘතියක් කරන බව මා දැනගත්තේ එහෙමය

අධ්‍යාපන කටයුතු පහසු වන්නට අය කොළඹ නේවාසිකාගාරයක නැවතී ඉන්නා බවද , එතැන ඉතාමත් දැඩි නීති පවතින බවද ඇය මට හෙළි කලාය . කෙසේ හෝ කතා කල ආකාරයට නම් , මා දැන සිටි සියලුම ගෑනු ළමුන්ට වඩා ඇය වෙනස් වුවාය.

එක් දිනක් මම ඇය හා කතා කරන්නට පටන් ගත්තේ රාත්‍රී නවයහමාරට පමණය . ඒ සතියේ දිනක් වූ නිසා ඈ උන්නේ නේවාසිකාගාරයේ බව මම දැන උන්නෙමි . ටිකෙන් ටික කතාව දික් ගැහෙන විට ඇය මට , නේවාසිකාගාර ජීවිතයත් ඒ වටා ඇති මල පාළුව ගැනත් විස්තර කරන්නට යෙදුනාය . ඈ නිවසට බොහෝ ලැදි , මිතුරු මිතුරියන් බොහෝ සෙයින් අඩු ගෑනු ළමයෙකු වූ නිසා තනිකම හා පාළුව දරන්නටම නොහැකි වන දිනවල එම් සී එක තුල ඔහේ ඇවිද යන අයුරු ද , නේවාසිකාගාරය අසල මුහුදේ ගෝෂාව ට කන්දී ඉන්නා අයුරුද මට කීවාය

ජිවිතයේ ප්‍රථම වරට ඈ ඇගේ ආත්මය කෙනෙකුට නිරාවරණය කල ලෙසම මමද ඇයට මගේ තනිකම හා පාළුව ගැන කීවෙමි . ඒ කතාව අතිශයින්ම මිතුරු කමට සිද්ද වුනු කතාවක් මිසක ආදර සම්බන්දතාවයක් පටන් ගන්නට මුලපුරන ලෙසට සිද්ද වුනු කතාවක් හෙම නොවේ . මට අද සිතෙන ආකාරයට කව්දැයි නොදන්නා , නොදුටු , නොඇසූ මිතුරෙකුට හෝ ,මිතුරියකට අපේ ජිවිතයේ රහස් පහසුවෙන් එළිකළ හැකිය . දන්නා කෙනෙකු සමග කියූ රහසක් , රහසක් ලෙස පවතින සම්බාවිතාවය අඩු නිසාද , අපි කියූ යමක් ආයුදයක් කරගෙන පෙරලා අපටම පහර එල්ල කිරීමට හැකියාවක් ඇති නිසාද , අපව නොදන්නා කෙනෙකු ඉදිරියේ හිත විරේක කිරීම ඇත්තටම පහසුය

කතාවෙන් වැටහුනේ ඇයට පෙම්වතෙකු නැති බවයි . ඒ ඈ තුල කිසිම හිත්ගන්නා පෙනුමක් නැති නිසයි

මුහුද කතා කරනවා . විශේෂයෙන්ම හඳ එලිය ඇති රැයවල .. අපිට ඒ කතා ඇහෙන්නේ නැත්තේ අපි ඒවාට ඇහුම්කන් නොදෙන නිසයි .. ඇහුන්කන් දුන්නොත් ඇහේවි .. මුළු විශ්වයම අපිත් එක්ක කතා කරන සද්දේ .. අපේ හිත අපිත් එක්ක කතා කරන සද්දේ .... (2009 නොවැම්බරයේ කිසියම් දවසක ඇය විසින් මට කියන ලද්දකි )