Friday, October 31, 2014

එකෝමත් එක දවසක - දවසක් දා 08

කතාව හිතුවාට වඩා දිගු විය. ප්‍රමාද විය. ඒ එක්කොම එක්ක රොටියා සමග ඉන්නා පාටකයන්ට හිස නමමි. කෙල්ලෙක් නිසා අවුරුදු හයක් නාස්ති කරගත්, අවසානයේ කොහෙවත් හුන් ගෑණු ළමයෙකු නිසා ජිවිතයම වෙනස් කරගත් රොටියා ගේ ප්‍රේම කතාවේ අවසාන කොටස මෙසේ ලියමි.....

මුලින්ම කිවයුතු යමක් ඇත්තේය.. සැබෑ ආදරය කියා ඔය කවීන් වර්ණනා කරන, ජිවිත කාලය පුරාම නොලැබෙන කෙනෙකු ගැන හිතමින් වදවෙන ජාතියේ හැඟීම් හෙම ආදරය කියා වරදවා වටහා ගන්නට එපාය. විරාගයේ (මාර්ටින් වික්‍රමසිංහ) අරවින්ද හෝ සින්දුර් හි (සුජීව ප්‍රසන්න ආරච්චි) අරවින්ද වැන්නවුන් පරමාදර්ශය කර ගන්න හදන්නත් එපාය. සමාජයේ ජිවත්වන බොහෝ චරිත පොදු පුරුෂයා හි (සුනේත්‍රා රාජකරුනායක) සාෂා වැන්නවුන්ය. හඹා යා නොහැක ප්‍රේමය (භද්‍රජි මහින්ද ජයතිලක) වැනි පොත් හරහා ආදරය විනිවිද දැකිය හැකි බව රොටියාගේ අදහසයි.

සමාවෙන්න, මෙය පොත් ගැන විචාරයක් හෙම නොවේ. රොටියාට පවසන්න වුවමනා වුයේ සැබෑ ලෝකයේ ආදරය වනාහි දෙදෙනාගේම කැමැත්ත හා අවබෝධය මත හට ගන්නා හැඟීමක් බවයි. ඒක පාර්ශ්වික ආදරය තුල ඇත්තේ ආකර්ශයක් සමග ඇතිවූ තණ්හාවයි. හිමිකර ගැනීමට ඇති ආත්මාර්තකාමිත්වයයි. මැරෙන තුරු හිඟා කා ආදරය ලබාගත් නොහැක. ලබා ගන්න හැකිවනුයේ අනුකම්පාවයි. එසේ අනුකම්පාව මත ඇතිවූ සම්බන්දයක් පසුව ආදරයක් බවට හැරීමේ සම්බාවිතාවයක් නැතැයි රොටියා කියන්නේ නැත. නමුත් අනුකම්පාවට ඇති වූ සම්බන්දයක අනුකම්පාව නැතිව ගිය කල ඔක්කොම කොට උඩය. මොකක් හෝ වෙලාවක් තිබී කසාදයට පෙර අනුකම්පාව අහෝසි උනා නම් හොඳය. නැත්තන් ඉතින් පවුල් කන්නට වන්නේ ලෝකෙට පේන්නටය

ආදරය සුන්දරය. මඩවන්නට බලන් ඉන්න, නටවන්නට බලන් ඉන්න, දහයට ගනින්න බැරි ගානට හැසිරෙන ලතාලා නොව කෙලින් කතා කරන අපට ඇත්තටම කැමති ගෑණු ළමයෙකු මුණ ගැසුණු විට පිරිමි අපට දිව්‍ය ලෝකය දැකිය හැක. එසේ ඇත්තටම ආදරය කරන ගෑණු ළමයෙකු මඩවා, කාමර ගානේ දක්කාගෙන ගොස් නිර්දය ලෙස අතහැර දමන්නා කිසිම දිනක ආදරය විඳීමට නොහැකිවෙන පව්කාරයකි.

ගැහැණු ළමුන් ආදරය ප්‍රකාශ කරන්නේ විවිදාකරයෙන්ය. රොටියාගේ ගෑණු ළමයා ගැන බැලුවොත්, ඇයට නප්පියට තදවෙනවාය. එසේම ඈ රොටියාව දේවත්වයෙන් පුදා වන්දමාන කරන්නේද නැත (එසේ කරන ගෑණු ළමුන් ගැනද රොටියා අසා ඇත). රොටියා කරන කියන හැම දෙයක්ම ඉස් මුදුනින් ගෙන සම්මත කරන්නේද නැත. රොටියා හා ඈ අතර ඇත්තේ අවේගශීලි, විවාදාත්මක , ගැටුම් බහුල සම්බන්දයකි. එවැනි සම්බන්දයක් මේසා කලක් රැකී තිබීමට එකම හේතුව ඈ තුල රොටියාට ඇති කැමැත්තයි. රොටියා තුල ඈ පිළිබඳව ඇති කැමැත්තයි. රොටියාට වුවමනා ඕනෑම දෙයක් ඈ සමග පැවසිය හැකි අතර ඈත එසේමය. රොටියාට ඈ සමග ඉන්නා විට ඇත්තේ නාන කාමරයක ඇඳුම් නැතුව ඉද්දි දැනෙන නිදහසමය.

කරුණාකර ඔබේ ජිවිතයේ සහකරු හෝ සහකාරිය තෝරාගන්නා විට මදක් වගකීම් සහිත වෙන්න. රූපය, දෑවැද්ද ගැන සලකා ඔබේ ජීවිතය නාරාවලක් කරගන්න එපාය. මව්පිය කැමැත්ත ගැන නම් සාදාරණව සලකා බැලුවාට කමක් නැත.

ඒ ගැන ඒ ඇතිය. දැන් එකෝමත් එක දවසක සිද්ද වුනු කතාන්දරයය

එම්. සී එකේ දහසක් ලයිට් එලිය මැද මම මගේ නුදුටු යෙහෙළිය, සුරලිය දුටු ආකාරය පහුගිය කොටසේ සදහන් කළා මතක ඇත

කුඩා ගැහැණු ළමයා සබකෝලයෙන් හිනැහෙමින් මල්ලක් ළඟ තබාගෙන උන්නාය

දැක පුරුදු මුහුණකි.. වෙනස් වී ඇත

කවුද යන්න ඔලුවට ආවේ ඊළඟ තත්පරේය. ඈ මාව දකින්නට පෙර අදුනා ගත්තා නම් මා හැරී යන්නට ඉඩ තිබුනේය


ඒ උන්නේ කොටි කුමාරිය

.... විස්වාස කලත් නොකලත් ඒ උන්නේ ඈමය

පාසල් වියේදී අපව තුට්ටුවකට මායිම් නොකළ, අප හීනෙන්වත් අපේ කරගන්න නොහිතුව කොටි කුමාරියය.....

ජීවිතය ඔන්න ඔය වගේය. අවුරුදු ගානක සිට දැන අඳුනාගෙන සිටියාක් මෙන් අප හිනැහෙමින් උන්නේ අපටමය.. මම අවුරුදු ගණනක් කෙල්ලෙක් පස්සෙන් ගොස් ලෙල්ලටම චාටර් වී බව හොඳින්ම දැනන් උන් කීප දෙනාගෙන් කෙනෙකි ඈ. (ලපයා ඒ දිනවල නදීට ඔය කතාව කියා තිබුනේය)

එදා අප යටගිය කතා මතක් කරමින් හිනැහෙමින් එම්. සී එක පුරා ඇවිද්දා මතක ඇත. සිද්ද වෙන්න බැරි හුඟාක් දේ සිද්ද කරමින් ආරම්බ උනු අපේ කතාවට නිසි මාර්තෘකාවක් දෙන්නට මුල් වුනේද ඇයමය

"ඉතින්.." (ඒ මමය)
"ඉතින් නෙවෙයි. අපි කතා කරන්න ඕනේ හරි පොයින්ට් එක ගැන..ඔයාට මං ගැන අදහසක් තියෙනවා නම් එහේ මෙහෙ වට ගහන්නේ නැතුව කෙලින් කියල ඊළඟට අපේ අම්මලට කියන්න ඕනේ හරිද.."

දෙවියන් විසින් මේ ගෑණු ළමයාව මවා තිබ්බේ ඔන්න ඔයාකාරවය. මේ මුල්ම දවසය. අඩුම ගානේ ඒ සම්බන්දව මම මෙපමණ වෙලා වදනක් වත් සඳහන් කලේද නැත.

කට ඇරියේ මම නොව. අවුරුදු ගානක් තිස්සෙවත් හැදෙන්න බැරි වුනු රොටියාය

"ඉතින් මම ඔයත් එක්ක තාම යාලු වෙන්න ඇහුවේ නෑ නේ.."

"අහන්න කලින් කිව්වේ.. එහෙම නැතුව අනේ අපි යාළුවො කියල තොත්ත තොත්ත ඉඳල අවුරුදු ගානක් තෙපර බාල, අන්තිමට මුකුත් නැති කර ගන්න මට බෑ. අනික මට ඕනේ තරන් යාළුවො ඉන්නවා. ඔයාට ඕනේ යාලුවෙක් නම් යාළුවෙක්ව හොයා ගන්න. මට කැමති නම් එක ඒ විදියට කියන්න"

ඉතින් අප පටන් ගත්තේම ඔය ලෙසය. එතනින් එහාට මොන කතාද..

ලපයා නම් මගේ පෙම්වතිය කොටි කුමාරිය බව විස්වාස කළේම නැත. ඌ විස්වාස කළේ ඈව දුටු පසුවය

එතැන් සිට අවුරුදු හතරක්ම ගෙවී අවසන්ය. මට කලින් අදටත් ඈ තීරණ ගෙන අවසන්ය. මම යන්නේ මොන පාරෙන්ද කියා කල්පනා කරන විට ඈ අදාළ තැනට ගොස් ඉවරය. තනිවම නොව මාවත් ඇදගෙනම

හොඳ නරක දෙකම ඇත. දුක සතුට දෙකම ඇත. මොනවා උනත් ඈ මං ළඟය..

මා ඈ ළඟය

2014 ඔක්තෝබර් 31 රොටියා

~ඉවරයි~


Tuesday, October 21, 2014

අනන්තය සොයා..

"ඔතනින් පැනල වැඩක් නෑ.පනිනනවා නම් තව ටිකක් එහාට ගිහින් පනින්න"
පිටිපස්සෙන් ඇහුනු ගෑණු කටහඩකින් මම ආයෙමත් හැරිලා බැලුව. සුදු පාට දිග සායක් ඇඳලා, සුදු පාට ටීෂර්ට් එකකුත් ඇඳන්, කොන්ඩෙත් කඩාගත්තු කෙල්ලෙක් ඉන්නව මං දිහා බලාගෙන. මුණේ හිනාවක්වත් නැතුව

මද්දහන නොවුනනන්, බම්බලපිටිය නොවුනනන් සහතිකෙන්ම මං බයවෙනවා මේකී හොල්මනක් කියල. ඒත් හැබෑවටම හොල්මනක් ආව උනත් ගණන් ගන්න මානසික මට්ටමක නෙවෙයි මම ඒ වෙලාවේ හිටියේ.

ඈව තඹේකට මායිම් නොකර මම ආයෙමත් මුද දිහාවට හැරුන. මගේ කකුල් වලට අඩි ගානක් යටින් ගල්පරේ හැප්පෙන මූදු රැල්ල දිහා බලාගෙන මොහොතක් උන්නේ හිත එකඟ කරගෙන තත්පර ගාණකට කලින් හදිස්සියේ බිඳිලා ගිය ධයිර්යය හිතට එකතු කරගන්නයි

"මං ඇත්තමයි කියන්නේ, ඔතෙනට පැන්නොත් ඔහෙට වෙන්නේ ඇටකටු පොඩි කරගෙන මාස ගානක් ඉස්පිරිතාලේ ලගින්න. එහෙම නැත්තන් ඇට කුඩුවෙලා , වතුර පොඩ්ඩ පොඩ්ඩ පෙවී පෙවී පැය ගානක් දුක් විඳලා මැරෙන්න. කැමති එකක් කරගන්න"

මං ආපහු හැරුනේ නිදහසේ මැරෙන්නවත් දෙන්නේ නැති මේ චිංචි මානවිකාවට හොඳ දෙකක් කියල දාන්නයි. ඒත් අන්න ඈ ඇවිදන් යනවා. මාව මෙතන තනියම දාල..

මගේ යටිහිත බලාපොරොත්තු උනේ මං පනින කන්ම ඈ මෙතන ඉඳී කියල වෙන්න ඇති. අඩුම ගානේ මිනිය හොයන මිනිස්සුන්ට ඔත්තුවක් වත් දෙන්න. නැත්තන් මං පැනපු ගමන් "අයියෝ මෙන්න මෙතෙන්ට එක්කෙනෙක් පැන්නෝ" කියල බෙරිහන් දෙන්න..

එතකොට මිනිස්සු දුවගෙන එයි.. පීනන්න දන්න අය වතුරට පනියි. මාව ගොඩගනියි..
අනේ ඒවෙනකොට මට වතුර පෙවිල. ඔලුව පැත්තකට වැටිලා..

"අයියෝ ෂෝක් කොල්ලෙක් වතුරට පැනල" ආරංචිය විදුලි වේගෙන් රටපුරා යයි.

මෙච්චර කාලයක් මාව සතේකට ගණන් නොගත්ත අපේ ගෙදර කට්ටිය අඬාගෙන දුවගෙන එයි.." අයියෝ මගේ පුතා...."

මාව දන්න කියන හැමෝම දුක්වෙයි. "කොච්චර හොඳ ළමයෙක්ද...."

එතකොට නයෝමි..

එයා පිස්සුවෙන් වගේ ඉස්පිරිතාලේ දුවන් එයිද.. නැත්තන් මුකුත් උනේ නැති විදියට එරංග ත් එක්ක ඉඳියිද..

මොනවා උනත් එයා ජිවිත කාලෙම පසු තැවෙයි.. එරංග ගේ හැටි තේරුම් යද්දී එයාට මාව මතක් වෙයි

මම දවස් දෙකහමාරක් තිස්සේ හිත හිත උන්නු මගේ මළගම ගැන ආයෙම පාරක් හිතන්න පටන් ගනිද්දිම හෙන ගහන්නා වගේ කෝච්චියක් ගියා මං ලඟින්ම.

මැරෙන්න හිත හදන් උන්නු මගේ හිත, අමාරුවෙන් මැරෙන්න බෑ කියල අඬපු නිසා මං නැගල උන්නු ගලෙන් බැහැල අර කෙල්ල පස්සේ දිව්වා

එතකොටත් එයා සෑහෙන දුර ගිහින්

"මේ මේ" මං අත්පුඩියක් ගහල කෑ ගැහුව

"මටද කතා කළේ " ඈ ආපහු හැරිලා ඇහුව.

"ඔහ් එයා ලස්සනයි" මං මටම කියා ගත්තා

"කොහෙටද පනින්න හොඳ.." මං ආයෙමත් කෑ ගහල ඇහුවා

"එන්න මං පෙන්නන්" ඈ දඟකාර හිනාවක් පෑවා

"තව දුරද.."

"නැහ් මේ ළඟ..ඉතින් ඇයි ඔයා ජිවිතේ නැති කරගන්න හදන්නේ.."

"ඔයාගේ පවුලේ ඔක්කොම සුනාමියට ගිහින්, දැන් ඉන්න කට්ටිය ඔයාට වෙනස්කම් කරනවද?"

"ඔයාට සනීප කරන්න බැරි දරුණු ලෙඩක් තියෙනවා කියල ඊයේ දැනගත්තද.."

"ඔයාගේ පිරිමි කමේ ප්‍රශ්නයක්ද.."

"හරි හරි රවන්න එපා.. එහෙනං ඔයා ඉගෙන ගන්න ගොඩක් ආස ඒත් ඉගෙන ගන්න සල්ලි නැති දුප්පත් ළමයෙක්ද..කාත් කවුරුත් නැති"

"හරි මං දන්නවා. ඔයාගේ අම්ම හදිස්සියේ කියන්න ඇති ඔයාගේ තාත්තා මේ තාත්ත නෙවෙයි. වෙන කෙනෙක් කියල"

මේකිගේ කට ගලේ උලන්න ඇත්තන් කියල හිතාගෙන මං ඉද්ද ගැහුව වගේ නැවතුනා

එයත් නැවතුනා. නැවතිලා ගිනි පිටවෙන මගේ ඇස් දිහා බැලුව හරිම සැහැල්ලුවෙන්

"කෙල්ලෙක්.. හරියට හරි කෙල්ලෙක්"

මං ඔලුව පාත් කරගත්ත. "ඔයා හරි මෝඩයි කෙල්ලෙක් හින්ද ජිවිතේ නැති කරගන්න" කියන සාම්ප්‍රදායික වාක්‍ය එයාගේ කටින් පිටවන තුරු ඊළඟට මං බලන් හිටියා

"හරියට හරි. මැරෙන්නම තමා ඕනේ ඒ කෙල්ලට පාඩමක් උගන්නන්න" ඈ ආයෙත් ඉස්සරහට යන්න පටන් ගත්තා.මාත් නොදැනීම ඈ පස්සෙන් වැටුනා

"ඔයා වීරයෙක්.. ඔයාගේ ඔය තීරණේ ගැන මට හරිම සන්තෝසයි. කොච්චර තද හිතක් තියෙන්න ඕනිද තමුන් එක්ක ජිවිත කාලෙම උන්නු අයව දාල මැරෙන්න, ජීවිතේට මේ ලඟදි ආපු කෙනෙක් නිසා..."

ඈ ටිකක් වෙලා නිහඬව හිටියා. වැස්සක් පෑව්වා වගේ සැහැල්ලුවක් මගේ හිතට දැනුනා

ඊළඟට ඈ කතා කරන්න පටන් ගත්තේ තමුන්ටමයි

"අනේ හැබෑට.. අවුරුදු ගානක් ලොකු මහත් කරපු අම්ම තාත්තා ගැන අමතක කරනවා කියන්නේ කොච්චර නිර්බිත කමක්ද.. මලාට පස්සේ අපිට බනින එවුන් ඔක්කොම අමතක කරලා.. අපේ අක්කල නංගිලා අයියල මල්ලිලා ඊළඟට ලෝකෙට මුණ දෙන හැටි අමතක කරලා මැරෙනවා කියන්නේ ඉතින් මාරම දෙයක් තමා

හ්ම්ම්.. මේ දෙයියොත් කරන වැඩ. කීදෙනෙක් මැරෙන මොහොතේ ජිවිතේ බේරගන්න සටන් කරනවද.. එහෙම ඈයෝ ගෙනල්ල මෙහෙම මැරෙන අයව පෙන්නන්න තියෙන්නේ "
"ඔය මොටරේ වහනවද.." මං කිව්වේ බැරිම තැනයි

ඈ දඟකාර විදියට ඔලුව හෙලෙව්වා "ඔයා ගැන මට පුදුම ගෞරවයක් දැනුනු නිසා මං දන්නා දෙයක් කියල දෙන්නන්. මැරෙන විදි වලින් අමාරුම විදියක්ලු ඔය වතුරට පැනල හුස්ම හිරවෙලා මැරෙනවා කියන්නේ.. පෙනහළු පුපුරනකොට ලු වැඩිම වේදනාව දැනෙන්නේ"

ඒ වෙනකොට මගේ විරකමෙන් බාගයක් හිඳිලා තිබුන නිසා මට ඒ කතාව ගැන ලොකු උනන්දුවක් දැනුනා

"කවුද ඔයාට කිව්වේ.."

"මට කිව්වේ එහෙම මැරුණු අය.." ඈ හිනා උනාට ඒ ඇස් යට තිබ්බේ දුකක්.. "මගේ අයිය මැරුණේ වතුරේ ගිලිලා.. ඒ දවස් වල මම වතුර පෙවිල මැරෙන එක ගැන ගොඩක් තොරතුරු හෙව්වා. මට අයිය විඳපු වේදනාව විදින්න ඕනේ වුනු නිසා වතුර බේසමේ ඔලුව ඔබාගෙන ඉන්න හදලත් තියෙනවා.."

මට ඈ ගැන දුකක් දැනුනේ මගේ නංගිවත් මතක් වුනු නිසා

"මම නම් කියන්නේ ඊට වඩා ලේසි විදියක් හොයා ගන්න කියල.."

"බෙල්ලේ වැලක් දාගත්තොත්.."

"පිස්සුද.. මාර දුකක් ලු විදින්නේ.. දිව එලියට එනවලු. ඇස් එලියට එනවලු"

මගේ පිට කොන්ද දිගේ විදුලියක් යනවා වගේ දැනුන.

"කෝච්චියට පැන්නොත්.."

"කුඩු වෙනවා.. චප්ප වෙනවා.. එක පාර නොමැරෙන්නත් පුළුවන්"

මට හදිස්සියේම ඈ ගැන හිතවත් කමක් දැනුන.

"මං ගෙදර ගිහින් කල්පනා කරලා බලල, නෙට් එකෙත් බලල හොඳ විදියක් හොයා ගන්නන්" ඒ වෙද්දී මරණ බියක් ඇත්තටම දැනිල තිබුණා මම කිව්ව

"ඒත්.. ඔයා ආවේ මැරෙන්නනේ" ඇගේ මුණේ තිබ්බේ බලාපොරොත්තු කඩවුණු ලකුණු

මට තරහක් දැනුනා. මේ ගෑනි මං මැරෙනකන් බලන් ඉන්නවද..

"හරි හරි.. ඕකට තරහ ගන්න එපා. ඔයා විදියක් හොයාගෙන මටත් කියන්නකෝ. මගේ නම්බර් එක ඔයාට දෙන්නං"

"ඇයි මොකද ඔච්චර මැරෙන එක ගැන උනන්දු.. මැරෙන්නවත් හිතිලද ඔහෙටත්.."

"නෑ ජීවත්වෙන්න හිතිලා.."ඈ හිකි හිකි ගෑවා. ඊළඟට ඈ ඇගේ දුරකථන අංකය කියාගෙන ගියා.

"මං යනවා බායි.." ඈ ඊළඟට පාර හරහා පැනල දුවගෙන ගියේ ත්‍රිරෝද රථ නැවතුම දිහාවට

මං කට කොනකින් හිනා වෙවිම ඇගේ අංකය මගේ ජන්ගමයට ඔබාගත්තා

පැයකට පස්සේ මම උන්නේ මගේ කාමරේ. අම්මා තේකක් හදල ඇවිත් මගේ ලඟට දුන්න. පැයකට කලින් මං මලා නම් අම්මා ඉන්නේ මොන ගින්දරකින්ද කියල හිතුනු මගේ ඇස් වලට කඳුළු ආව.

"මොකෝ උණද" අම්ම මගේ නළලට අත තියල බැලුව. මං අම්මගේ අත අරන් කම්මුලට තියා ගත්ත

"නාකි හුරතලේ.. කකා බිබී ඉන්නේ නැතිව නරකද පලක් ප්‍රයෝජනයක් ඇති දෙයක් කලොත්" අම්ම එක්දහස් එකසිය එක් වෙනි පාරටත් අහල යන්න ගියා. අම්ම එහෙම කියන්නේ මං ගැන ඇත්තටම ආදරේට කියල ජිවිතේ පලවෙනි පාරට මට තේරුණා

මං තවදුරටත් කෙල්ලෙක් හින්ද මැරෙන්න යන මෝඩ කොල්ල නෙවීය කියන්න මං ඈට ඇමතුමක් ගන්න හිතුවේ රෑ. කතා කළා මිසක් නමක් ගමක් වත් අහගත්තු එකක් යෑ

"හෙලෝ.." හරි ඒ නම් ඇගේම කටහඬ තමා

"මම මේ කතා කරන්නේ අද බම්බලපිටියේදී හම්බවුනු කෙනා"

ඈ මොහොතක් නිහඬ උනා. ඊළඟට අර දඟකාර කටහඬින්ම "මොකද කරගත්තේ " කියල ඇහුවා

"මං නොමැරෙන්න තීරණය කළා" මං ඈට ඉස්තුති කළේ ඈ නැත්නම් මේ වෙලාව වන විට අපේ ගෙදර මලගෙයක් වෙන්න තිබුණු බව මම දැනන් උන්නු නිසයි

"කතා කලාට මං ඔයාගේ නමවත් දන්නේ නෑනේ"

"මං දිව්‍ය.." ඈ කිව්වේ මොහොතක නිහඬතාවයකින් පසුවයි

සති මාස වලට පෙරලිලා අවුරුදු තුනක් ගෙවුනත් මට දිව්‍යාව නැවත මුණගැහෙන්න බැරි උනා. ඒත් ඒ වෙද්දී මං ඈට ටෙලිපෝන් කෝල්ස් සිය ගානක් අරගෙන පැය දාස් ගානක් කතා කරලා තිබුණා. ඒ පැය දාස් ගාන ඈ ගැන කියා ගන්න බැරි තරන් ආදරයක් මගේ හිතට අරගෙන ආව

අන්තිමට මම ඈව මුණගැහෙන්න තීරණය කළා. ඒ වෙද්දී මම යම් ස්ථාවර තත්වයක , මගේම වාහනයක් එහෙම අරන් උන්නු නිසා

මුලින් ඈ මාව මුණගැහෙන්න කැමති උණේම නෑ. ඒත් සති තුනක් තිස්සේ නොනවත්වාම කරපු ඉල්ලීම් වල ප්‍රතිපලයක් විදියට ඈ මට ගෙදරට එන පාර කිව්වා

රතු රෝස මල් පොකුරකුත් අර ගත්තු මම , මගේ දුප්පත් වාහනේ මහා විසාල ගේට්ටුවක් ළඟ නතර කළා

ගෙදරටම නාකි උනු පෙනුමක් තිබුණු මනුස්සයෙක් ඇවිදින් ගේට්ටුව ඇරිය. මහා විසාල නොවුනත් සුඛෝපබෝගී පෙනුමක් තිබුණු ගේ දොරකොඩ පුටුවක වාඩි වෙලා මගේ කුමාරිකාවී හිටියා

පුටුවක් නෙවි.. ඒක රෝද පුටුවක්

මම දුක පුදුමය ඔක්කොම හංගගෙන මල් කළඹ ඇගේ අතට දීල සුබ පැතුවා.

ඒ ගෙයි සාලේ තමා මෙච්චර කාලෙකට මම දැකපු ලස්සනම සාලේ. පවුලේ ඔක්කොම හිනා වේගෙන පින්තුර වල එල්ලිලා හිටියා. ඒ පින්තුර වල ජිවය උතුරනවා. දිව්‍යල දෙන්නෙක්ම ඉන්නවා පින්තුර වල. රෝද පුටු දිව්‍ය නෑ

"ඔයාට කියන්න ලොකුම ලොකු කතන්දරයක් තියෙනවා. මේක ඔයා කොහොම පිළිගනිද දන්නේ නෑ. මං දන්නවා ඔයාට මාව ලොකු ප්‍රෙහෙලිකාවක් කියල.."

ගෑණු ළමයෙක් පේර බිම එකක් ගෙනැල්ල මට දුන්න. මම කතාවක් නැතුව ඒක අතට ගත්ත

අපි බොහොම සංතෝසෙන් උන්නා. අපේ පවුලේ ඔක්කොම හය දෙනෙක්. අයියල දෙන්නයි. මායි දිව්‍යයි අම්මයි තාත්තයි.

"එතකොට..."

"මං බාග්‍ය.."

"ඔව් මං බාග්‍යා. මගේ නංගි දිව්‍යා. සුනාමිය එද්දී අපි ඔක්කොම හිටියේ යාල. රැල්ලට අහු වුනු මාවයි නංගිවයි බේර ගන්න ගිහින් අයියල දෙන්න ගහගෙන ගියා. අම්මටයි තාත්තටයි උනු දෙයක් අද වෙන තුරු දන්නේ නෑ. පලවෙනි රැල්ලෙන් කොහොම හරි අපි දෙන්න බේරුනත් මගේ කකුල් සෆාරි ජීප් එකට යටවෙලා තිබ්බ. දුවල බේරෙන්න පුළුවන්කම තිබුණු නංගි මාව බේර ගන්න මොකක් හරි හොය හොය ඇවිදින අතරේ දෙවෙනි රැල්ලත් ආව. එයා රැල්ලට අහුවුනේ මගේ ඇස් ඉස්සරහ දීමයි..

එයත් ගියා. මොකද්දෝ කරුමෙකට කකුල් දෙකම නැතුව මාව ඉතුරු උනා.."

මම ගල්ගැහිලා අහගෙන හිටියා. එහෙම නම් සුනාමි ඇවිත් අවුරුදු හතරකට පස්සේ මට මුණගැහුනේ කකුල් දෙකම නැති බාග්‍යද..

"ඔව්, මං දන්නවා ඔය හිතන දේ ගැන. එදා ඔයාට මුණ ගැහුනේ මගේ නංගිව. අපේ පවුලේ හැමෝම ඔය විදියට කරදරේ වැටෙන්න යන අයව නිතරම බේර ගන්න නිසා මට ඒක එච්චරම පුදුම හිතෙන දෙයක් නෙවෙයි. ඔයා මට ඒ විදියට කතා කරපු පලවෙනියත් නෙවෙයි. අන්තිමයත් නෙවෙයි. හැබැයි මේ කතාව ඉවරවෙනකන්ම කතා කරපු එකම එක්කෙනා ඔයා විතරයි"

බාග්‍යා එයාගේ පවුලේ ඇය ගැන කතා කළේ ජිවත් වෙලා ඉන්න අය ගැන කියනවා වගේ. එයාගේ පවුලේ කට්ටිය එහෙම උදව් කරපු කතා දෙක තුනකුත් මට කිව්ව. නොකිව්ව කතා බොහෝමයක් තියෙනවා කියලත් මට තේරුණා. පුදුමයකට වගේ මට බයක් නම් දැනුනේ නෑ

"මට සමාවෙන්න.. මං අවුරුදු තුනක් තිස්සේ දිව්‍ය වගේ ඔයාට කතා කලාට. කතා කරන එක නවත්තනවා කියල කොච්චර හිත හදා ගත්තත් තනිකම දැනෙන වෙලාවට මාත් ඔයත් එක්ක ඔහේ කතා කළා.." මම එන්න ලැස්ති වෙලා එලියට එනකොට එයා කිව්ව

මං හිනා වෙලා ඔලුව වනල එන්න ආව.

ඊට අවුරුද්දකට පස්සේ මම බාග්‍යව කසාද බැන්ද. ඒ ගොල්ලන්ගේ පවුලේ අයගෙන් උදව් ලැබුණු කට්ටිය දැනටත් සැරින් සැරේ අපිට කතා කරනවා.




Thursday, October 9, 2014

අපේ වෙඩිම අපි බලාගන්නම් - ස්තුතියි

මේ දිනවල රොටියා කෙටි චිත්තර පටි ගැන බොහෝ විමසිලිමත්ය. පින්තුරයක් හදා එහි රඟපාන්නට ඇත්නම් රොටියාට ඊට වඩා දෙයක් නැත්තේය. පහත දැක්වනුවේ සුදුසු කතාවක් සොයමින් ඔලුව අනික් පැත්තට හරවාගෙන කල්පනා කරන රොටියාට පහල උනු සංකල්පනාය. ඒවා එහෙමපිටින්ම ප්‍රබන්ධය. පින්තුරයේ නැත්තන් චිත්තරපටියේ නම මුලින් දක්වා ඇත (අපේ වෙඩිම අපි බලාගන්නම් - ස්තුතියි)

01:දිනය: එක්තරා දිනයකි
වෙලාව: ඒත් එක්තරා වේලාවකි
තැන: රොටියාගේ වාහනය තුල

රොටියා: (තාලයට) අනේ ඩිංගක් ඉන්නකෝ ඕ.. ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඕ..
ගෑණු ළමයා: මල සමයන්
රොටියා: (තාලයට) සිත මා සොරාගෙන ගියේ...
ගෑණු ළමයා: විකාර නවත්තන්නකො අනේ.. " යයි කියමින් රොටියාගේ විහිලුවට රොටියාගේ ගෙල සිරකරයි
රොටියා: (හුස්ම හිරවී මැරෙන අයුරු රඟ දක්වයි)

පහුවදා උදේ.
ගොසිප් සයිට් අංක 01: මිනීමරු ස්ත්‍රියක් ගෙල සිර කර සිදු කරන මිනී මැරුමක්! (වීඩියෝ සහිතයි)
ගොසිප් සයිට් අංක 02: රහසේ පටිගත කල අමු අමුවේ මිනී මැරුම (වීඩියෝ සහිතයි)
ගොසිප් සයිට් අංක 03: බේර ගන්න බැරි උනා. ඒත් මං වීඩියෝ කළා- මිනී මැරුමක ඇසින්දුටු සාක්ෂිකරු කේ.කරුණාපාල
ගොසිප් සයිට් අංක 04: හද කිලිපොලා යන සජීවී මිනීමැරුම- සංවේදී අය බලන්න එපා

පහුවදා හවස:
මරු පුවත්: මිනීමරු ස්ත්‍රියක් නිදැල්ලේ- පොලිස් පරීක්ෂණ දිගටම
ඇඩ්වාහිනී: සැප රිය ඇතුලේ - යයි මරු තුරුලේ....
රසපුවත් : මිනිමරුමක ඛේදවාචකය- මෙයින් පෙනෙන්නේ ජනතාවගේ පීඩනයයි - පාර්ලිමේන්තු මන්ත්‍රී ඛාන් පවසයි
කඩේපුවත්: ජ්‍යාත්ත්‍රන්තර කුමන්ත්‍රණක තවත් අතුරු ප්‍රතිපලයක්

02:දිනය: අඥාතයි
වෙලාව: උදේ
තැන:පිටකොටුව

ගෑණු ළමයා මෙලෝ සිහියක් නැතිව සුකුරුත්තන් තෝරයි. රොටියාට තුම්මුනින් දාඩිය දමා ඇත්තේ මදකට කලින් කෙල හලාගෙන කෑ වඩයක ආනුබාවයෙනි. ගෑණු ළමයා එන පාටක් නැත. රොටියා මදක් ඈතට ගොස් වටපිට බලා කිසිවෙකුගේ අවදානයක් යොමු වී නැති බව දැක බඩේ පිරි තිබූ වාතය අධෝ මාර්ගයෙන් පිටකරයි.

පහුවදා උදේ.
ගොසිප් සයිට් අංක 01: ප්‍රසිද්දියේ සිදු කරන පරිසර දුෂණය(වීඩියෝ සහිතයි)
ගොසිප් සයිට් අංක 02: පරිසර අධිකාරිය මාර නින්දේ (වීඩියෝ සහිතයි)
ගොසිප් සයිට් අංක 03: මම පරිසර අධිකාරියට පැමිණිලි කළා. මේවා සාමාන්‍ය සිදුවීම් කියල පැමිණිල්ල ලියා ගත්තේ නෑ.-වීඩියෝ කල කේ.කරුණාපාල
ගොසිප් සයිට් අංක 04: පිටකොටුවේ ප්‍රසිද්දියේම සිද්ද කල මහා අපරාදය - මේවා මෙහෙම වෙද්දී අපි කොහොමද ඉන්නේ - පදික වෙළෙදුන්

පහුවදා හවස:
මරු පුවත්: මොහුව අඳුනනවාද? අංක XXXX අමතන්න- පොලිස් පරීක්ෂණ දිගටම
ඇඩ්වාහිනී: සුදුසු තැනක - නුසුදුසු *ඩය....
රසපුවත් : පොදු වැසිකිලි වල තත්වය බාල වීම හේතුවෙන් ජනතාව මහමග ප්‍රසිද්දියේ *ඩ අරිති
කඩේපුවත්: ජ්‍යාත්ත්‍රන්තර කුමන්ත්‍රණක තවත් අතුරු ප්‍රතිපලයක්

-පසු සටහන: අන් අයගේ පවුද්ගලිකත්වට හෝ සමාජීය වශයෙන් හෝ හානි වන සිද්දීන් රූපගත කොට ඒවා අන්තර්ජාලයට මුදා හැරීම රොටියා දැඩිවම හෙලා දකිනවාය


Monday, October 6, 2014

සදාචාරය , හැදියාව හා ක්ෂණික කෝපය

රොටියා මේ ලියන්නට යන්නේ නුවුමනා ලිපියකි. රොටියාගේ ගෑණු ළමයාගේ වචන වලින්ම කියනවානම් මගෝඩි ලිපියකි. නැත්නම් පොදු ජනයාව කෝප කල හැකි ලිපියකි.මේ වෙලාවේ කලයුත්තේ බ්ලොගයේ පල් හෑලි කුරුටු ගෑම නොව "එකෝමත් එක දවසක" කතාවේ අන්තිමම අන්තිම කොටස පල කිරීමය. (අන්තිම කොටස පල වීම කල් යන්නේ තනිකර රොටියාගේ ආත්මාර්ථකාමී තලුගැසිම නිසාය. කතාව ඉවරයක් වනවාට රොටියා කැමති නැත)ඒත් රොටියා රොටියෙකු නිසා හිත කියන්නේ මෙය ලියන්න කියාමය

පහුගිය දිනක රොටියාගේ ගෙදර කාන්තා පාර්ශවය, පිරිමි අපට එරෙහිව යුද්ද ප්‍රකාශ කල අතර නිවැරදි හේතුවක් අපට අනුමාන කර ගත නොහැකි වුනාය. හොඳම දේ මගහැර යෑම යයි විස්වාස කල රොටියාගේ පවුලේ ඇත්තෝ කොකු මග හැර එහාට මෙහාට පැනගත් අතර රොටියා නොදැනුවත්ම යාත්‍රා කොට තිබුනේ ගෑණු ළමයාගේ නිවෙස බලාය.උයන්නට හරි හැටි නොදන්නා මුත් විව්දාකාරයේ මෝස්‌තර කෑම හදනා ගෑණු ළමයා විසින් මොකක් හෝ අටමගලයක් හදා ඇතැයි රොටියාගේ හිත තුල හින් බලාපොරොත්තුවක්ද ගැහෙමින් උන්නාය. ඒවා මාරය. ඉන්ටර්නෙටයෙන් බලා ගන්නා කුමක් හෝ රෙසපියක් හදන්නෙමි යයි කියමින්, සුපර් මාර්කැට්ටු ගානේ රස්තියාදු වී, චීස් බටර් හා වෙනත් දේ යහමින් දමා හදා ගන්නා ඕනෑම වෙඩිමක්, ආබාදයකින් තොරව කෑ හැකි බව දෙකේ පන්තියේ එකෙකුට උනත් තේරෙන මුත් , ගෑණු ළමයා හිතන් ඉන්නේ ඇගේ සුපවේදී හැකියාව නිසා අදාළ කෑම රස උනු බවය. නුවමනා කතා කියන්නට ගොස් නිකන් ලැබෙන කෑම අහිමි කරගන්නට අකමැති රොටියා ද ඔය විත්තියක් නොකියා ගෑණු ළමයා හදනා ඕනෑ දෙයක් කා දමනවාය.

අදෝමැයි! ගෑණු ළමයාගේ ගෙදර ගෑණු උදවියද කාන්තා අයිතිවාසිකම් ගැන උද්ගෝෂණයක පෙර පුහුණු වීම් කරන ගානය. රොටියා යනවිටත් ටොපිය ලැබී තිබුනේ ගෑණු ළමයාගේ අසරණ මස්සිනාටය. මස්සිනාට වඩා කලඳක් මොලේ තිබූ ගෑණු ළමයාගේ තාත්තා කෙසේ හෝ ගෙදරින් පැන ගැනීමට සමත් වී තිබුණාය

හේතු බුත වූ සිද්දියක් නොදැන ආත බූත තත්වයට වන රොටියාගේ පැටලුම ලෙහන්නට සියල්ලෝම එකාවන්ව පැනගෙන ඉදිරිපත් වූවෝය

"ඔයා කියන්නේ හරිද වැඩේ.." - රොටියාගේ ගෑණු ළමයා
"බලන්නකෝ හැමෝම බලාගෙන ඉද්දි කරන නොසන්ඩාල වැඩේ" - ගෑණු ළමයාගේ අම්මා
"ඔයා හරි කියනවා නං ඔයත් මට කවද හරි කරන්නේ ඔය ටික තමයි" - ගෑණු ළමයාගේ අක්කා විසින් මස්සිනාට (අම්මේ මට ඩිවොර්ස් වෙන්න ඕනේ)
"ලැජ්ජයි"- ගෑණු ළමයාගේ නංගි

රොටියා ඉන්නේ අන්ඥකොරොස් වී වලිගය පාගාගෙන බව වැටහුණ ගෑණු ළමයාගේ මස්සිනා සිහින් හඬින් රොටියාගේ පැටලුම ලෙහන්නට වුනාය.

"මචං ඔය ෆයර් වෙලා ඉන්නේ බට්ටිගේ සින් එකට...."

"කවුද මචං බට්ටි කියන්නේ..."

බට්ටි කියන්නේ කවුද යන්න එදා රොටියා නොදැන හිටියාට දැන් රටම දන්නවාය. ඈ විදි සරණ ලියක් බව බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබූ අතර එහි වැරද්දක් ඇත්තටම රොටියා දකින්නේ නැත. කෙතරම් තහනම් කොට තිබුනද ඔය රස්සාව සිද්ද කරමින් පවුල් රස්සා කරන ගෑණු උදවිය ලක්ෂ ගානක් ඉන්නා රටක ඕක නීතිගත කරන්නම ඕනෑය. ඔවුන් කරන්නේද එක්තරා විදියකින් සේවයකි. ගෑණු ළමයින්ට මේ තරමින් හෝ පාරේ බැස යන්නට ඉඩ කඩ සැලසී තියෙන්නේ ඔවුන් නිසාය. නැත්නම් ඉන්නා තරන් ඔක්කෝම අසහන කාරයෝ සිය අසහනය වෙනත් විදි වලින් පිට කරගන්නවා ඇත

ඕනෑම වුර්තියකට ගරුත්වයක් ඇත.මිලක් ඇත. තමුන් ගේ සේවය නොමිලේ ලබාගන්නට තැත් කල පොලිස් රාලහාමිගෙන් අවසානයේ බට්ටිට ප්‍රසිද්දියේ අමානුෂික ලෙස පහර කන්නට සිද්ද වුවාය.
ඒ බට්ටි කියනා කතාවය....

හරි හමන් පිරිමියෙක් කවදාවත් ගෑනියෙකුට අතක් උස්සන්නේ නැත.. එසේම හරි හමන් ගෑණියෙක් කිසිදා පිරිමියෙකුගෙන් පහර කන්නේද නැත. රොටියාගේ මිතුරෙකුට මෙහෙම කියා තිබුනේ වෛද්‍ය මහාචාර්ය තුමෙකි

එයට අනුව බලන විට පොලිස් රාලහාමි හරි හමන් පිරිමියෙකු නොවේ.. එසේ නම් බට්ටි..

ලිපියේ ඉතිරිය ලියන්නට පෙර රොටියා විසින් අවධාරණය කලයුතු යමක් ඇත්තේය. මේ ලිපියේ හරය ඒ පහරදීම සාදාරනීකරණය කිරීම හෙම නොවේ.මොන තත්වයක් යටතේ වුවත් ගැහැණියෙකුට අතක් උස්සන්නට නරකය. අප සියලුදෙනාම මුලින්ම පණගැහුනේ මව් කුසයේදීය...

සිද්දිය ගැන නිවැරදිම අදහසක් පළකිරීමට ඉක්මන් නොවී, රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරික මිතුරෙකු ඇමතු කල ඔහු ගත්තේ පොලිස් රාලහාමිගේ පැත්තයි.

"මචං මුළු ටවුන් එකම හරියට රන් කරන්න සෑහෙන වැඩක් කරපු මනුස්සයෙක් බන් ඔය"
එහි ඇත්ත නැත්ත දන්නේ රත්නපුරේ ජනතාවය. කොළඹ හතේ ඉඳගෙන කොම්පියුටර් වලට මුහුණ ඔබන් ඉන්නා නෝනා මහත්වරු නොවේ

"ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ හරියට කොන්ට්‍රෝල් කළා. අහු මුළු වල කතා කර කර ඉන්න එහෙම දෙන්නේ නෑ. පටෝල යවනවා බස් එකේ"
එහි ඇත්ත නැත්ත දන්නේ රත්නපුර සිවලියේ, සුමන බාලිකාවේ , ෆර්ගසන් එකේ සිසු සිසුවියන් මිස කොළඹ ආනන්දේ රෝයල් එකේ විසාකාවේ ගැටව් ගැටිස්සියන් නොවේ

"ඉස්කෝලේ කොල්ලන් ඔය කට්ටියට සෙට් වෙන්න තිබ්බේ නෑ"
එහි ඇත්ත නැත්ත දන්නේ රත්නපුරේ සැරිසැරූ ඉස්කෝල කොල්ලන්ම මිස කොළඹ නයිට් ක්ලබ් යන කොලු කෙල්ලන් හෙම නොවේ

"පව් බං. මිනිහගේ පවුලේ කට්ටියට දැන් පාරේ බැහැල යන්නත් බෑ"
එහි ඇත්ත නැත්ත දන්නේ රාලහාමිගේ පවුලේ ඇත්තන් මිසක කොළඹ ඉඳගෙන පව්කාරයාට ගල් ගසන නෝනා මහත්වරු නොවේ

"මචං, එවෙලාවේ උඹට එහෙම එකක් උනා නං උඹත් ගහනවා..(ඔහු පැවසු ඉතිරි හරිය මෙහි සඳහන් කල නොහැක)"
එහි ඇත්ත නැත්ත දන්නේ බට්ටි හා රාලහාමි ම මිසෙක අපි කවුරුත් නොවේ

කවුරු මොන බයිලාව දෙඩෙව්වත් මෙවෙද්දී බට්ටි කතාවේ වීරවරියත් , රාලහාමි දුෂ්ටයාත් වී අවසානය.රාලහාමි දුෂ්ටයා උනේ ප්‍රසිද්දියේ ගෑනියෙකුට තිරිසන් විදියට පැහැර දුන් නිසාය. රාලහාමිට එසේ පහරදෙන්නට සිද්ද උනේ තමුන් පිරිමියෙකු බව ඔප්පු කරන්නටය.

සාමාන්‍ය ජනතාව බොහෝ දෙනෙකු දවස සරන්නේ අතිශය පිඩාකාරී වාතාවරණයක් තුලය. පාරේ රාජකාරිය කරන පොලිස් රාළහාමිලා තුල මේ තත්වය වැඩිය (අව්, වැසි දවස් වල තාර පාරකට නුදුරුව පැයක් හිටගෙන හිඳ බලන ලෙස මෙයට විරුද්ද ඔක්කොම කියවන්නන්ගෙන් රොටියා ඉල්ලා සිටිනවාය. එතකොට එහි රඟේ බලන්නට පුළුවන)

කියවන ගෑණු උදවිය රොටියාට සමා වෙත්වා! කනාගටුවෙන් වුනත් කියන්නට ඇත්තේ අපේ රටේ සමහර කාන්තාවන් සමහර තැන් වලදී කියවන කියවිල්ලට මුණ පුරා හතරක් පහක් අනින්නට හිතෙන බව ඇත්තක්ය යන්නය. අනික් පිරිමි ගැන නම් දන්නේ නැත . ඒත් රොටියාට නම් එහෙම හිතුනු වාර දහයක් පහළොවක් පමණ ඇත (මෙයට රොටියාගේ ගෑණු ළමයාගේ හෙම සම්බන්දයක් නැත්තේය. රොටියා කතා කරන්නේ මගතොටේ දකින කියන බවලත්තු ගැනය)

පිරිමි උදවියටත් මෙය අදාලය. සමහරු නීති කතා කරමින් එන්නේ කොක්කටමය. ඒ වෙලාවට හැකි ඉක්මනින් මගහැර යෑම නුවණැතිම ක්‍රියාවයි.

කොතරම් කෙන්තියකට පත් උනත් මගහැර පැනගැනීමට රොටියාට හැකිය. අවු වැස්සේ නිතිය ක්‍රියාත්මක කරන්නට වලිකන රාලහාමිට එසේ මගහැර යන්නට බැරි උනා වන්නට ඇත. ක්ෂණික කෝපයෙන් මාරාවේස වුවා වන්නටද හැක. බට්ටියට පාඩමක් ඉගැන්වීමට හිත බලකලා වන්නට හැක

අවසානයේ පාඩමක් ඉගෙන ගත්තේ රාලහාමිය..

සමාජය හදන්නට වසර තිස් ගානක්ම කැපවුණු රාලහාමි (රොටියා හිතන ආකාරයට) ක්ෂණික කෝපයෙන් වියරු වැටි ස්ත්‍රියකට පහර දෙන ආකාරය වටේ හිටි සිල් ඇත්තෙකුගේ කැමරාවේද සටහන් උනාය. සිල් ඇත්තෝ වටවී බලා උන්නා මිසෙක ගුටි කන ගැහැණිය හා පහර දෙන මිනිසා දෙපසට කරන්නට උත්සහ ගත්තේද නැත

මහමග මරා දැමුවද අපට වන්නේ ඔය ටිකය. සිද්දිය වීඩියෝ කරන්නට , මුනුපොතේ ඕපාදුප අඩවි වල පල කරන්නට සිය දෙනෙකු සුදානම්ව උන්නද , අපව බේරා ගැනීමට පැමිණෙන කෙනෙක් මේ ධර්මද්වීපයේ නැත්තේය. බට්ටිගේ යටත් වීම හෝ රාලහාමිගේ ප්‍රචණ්ඩත්වයට වඩා ඔබ්බට ගිය නරකම කතාන්දරය නම් එයයි.

ක්ෂණික කෝපයට කෙනෙකුව මිනී මරුවෙකු කල හැක්කේය.කෝපය පාලනය කර ගත යුත්තෝ අපි අපමය. මිනීමැරුවාට පසු මරපු එකා මිනී මරුවාය. මැරුම් කෑ එකා ගොදුරය. මිනී මරුවාව , මිනීමරුවෙකු කළේ මැරුම් කෑ එකා වන්නට පුළුවන. ඒත් ඒකා අනියම් මිනිමරුමකට වරදකාරයා වන්නේ නැත. ඌ මැරී අහවරය

අපට මිනී මරුවෙකු වන්නටද පුළුවන. වෙනත් කෙනෙකුව මිනිමරුවෙක් කරන්නටද පුළුවන. තවකෙකු මිනී මරණා දෙස බලා ඉන්නටද පුළුවන.
ඔක්කොටෝම වඩා මිනී මැරුමක් වලකන්නටද පුළුවන

මිනිසත් කම යනු එය නොවන්නේද?