Thursday, August 17, 2017

ඩාඩියාගේ ලෝකය -04

ඩාඩියාගේ ලෝකය -01
ඩාඩියාගේ ලෝකය -02
ඩාඩියාගේ ලෝකය -03

තමා ඇසු දෙයින් කම්පනයට පත් ඩාඩියාට මද වෙලාවක් ගතවන තුරු වචන අමතක උනේය. ආගන්තුක තරුණයා ඈ දෙස සමච්චලය මිශ්‍රිත සිනාවක් ඇතුව බලා උන්නේය.

"මොනවා.. ඈට පුතෙක් ඉන්නවාද" ඩාඩියාගේ ස්වරය කම්පනය වන සුළු විය.

"ඔව්.. ඈ පුතුන් දෙදෙනෙකුට රහසේම උපත දුන්නා. එයින් කෙනෙක් ලාබාල වයසේදීම පියා විසින් රැගෙන යනු ලැබුවා. ඈ සමග ඉතුරු උනේ මා පමණයි. ඈ පුතුන් දෙදෙනෙකු හදා වඩා ගත්තේ විශාල අවධානමක් අරගෙනයි"

"එතකොට ඔබේ පියා.."

"එය රහසක්. මට ඔහුගේ මුහුණ යන්තමින් මතකයි. මා දන්නා එකම දෙය මගේ මවට ඔහු සමග යාමට නොහැකි බවයි. ප්‍රධාන නළගන ධූරය සමගම ඈට පූජකයන් විසින් ලබා දුන් කිසියම් බෙහෙතක් නිසා ඈට නයිල් නදියේ ජලය හැරෙන්නට වෙන කිසිම තැනක ජලය පානය කරන්නට බැහැ. එය කරුමයක්"

"මොකද්ද කරුමය කියන්නේ" ඩාඩියා ඒ වදන ඇසුවේ ජිවිතයේ පළමු වතාවටය.

තරුණයා හිනැහුණේ වරද සහගත ලෙසය. "මගේ මුළු ජිවිතයම ගෙවෙන්නේ මේ බිම්මහලේ නිසා මට හුඟාක් කාලය තියෙනවා. මම රෙදි වියනවා. ඉතුරු කාලයේදී පොත් කියවනවා. අපිට ඉතා ඈත ජම්බුද්වීපය නම් රට බුද්ධ නම් කෙනෙකුගේ ඉගැන්වීම් වලට මම ඉතා ප්‍රියයි. කර්මය ඔහුගේ ඉගැන්වීමක්"

ඩාඩියා නිසල විලක් බඳු තරුණයාගේ කළුපැහැ දෙනෙත් දෙස බලාගෙන උන්නාය. තම ජිවිතයේ හැම දෙයක්ම පාලනය කරන්නට පැමිණෙන පූජකයන්ගෙන් මිදී ජම්බුද්වීපය නම් රටට ගොස් මේ තරුණයා සමග වාසය කරන්නට හදිසියේම ඈට ආසාවක් පහල උනේය.

**************************

සෑහෙන වෙලාවක් තිබූ කලබලය නිමවී නර්තන ගෘහය යලිත් සාමකාමී වූයේ ආගන් නික්ම යෑමෙන් ඉක්බිතිවය. නර්තන ගෘහයේ සියල්ලෝම පෙලට සිටුවා නිරුවත් කරන්නට ආගන් ලබා දුන් නියෝගයට සිසිලියාට පෙර පාරාවෝ රැජිණ විරුද්ධ වූවාය.

"ආගන්, ඔබ තිස් නව වසරක් පුරා දෙවියන්ට සේවය කරත් දේව කැමැත්ත ඉගෙන ගෙන නැද්ද? එවැනි දෙයක් සිදු කරනවා නම් දෙවියන් , දේව පුත්‍රයින්, රජතුමා අනිවාර්යෙන්ම සහබාගි වෙන්න ඕනෑ. කන්‍යාවියන් පුරා දවස් තිස් දෙකක් පුජාවන්හි යෙදෙන්නට ඕනෑ. සිසිලියා විසින් අධිගෘහිත පුජාව තබන්න ඕනෑ. ඔබ ඔය කතා කරන්නේ හොඳ සිහියෙන්ද"

තමාට පෙර ප්‍රධාන පූජක ධූරයේ හුන් 'අහ්මෙට්' නම් පුජකයාට බෙහෙවින්ම වැදුම් පිදුම් කලේ පාරාවෝ රැජිනය. ඔහු වෙනුවෙන් සතියකට වරක් පළමු පෙලේ නර්තන සැන්දෑවන් සංවිධානය කලේද රැජිනමය. ඔහුට රති පූජාවන් සංවිධානය කලේද ඈමය. අවසානයේ ඊජිප්තුවේ සෞභාග්‍ය පතා ඔහුට හළාහල පුජාවක් සංවිධානය කලේද මේ රැජිනමය.

වහලෙකු කසයට බියෙන් වැඩ කරන්නනේ යම් සේද , බෙහෙවින් රතුව හුන් අහ්මෙට් තමාගේ අවසාන පුජාව සිද්ද කලේ ද එලෙසමය. හළාහල පුජාවේදී පුජකවරුන්ට ලබා දෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට ලබාදෙන විෂට වඩා වෙනස් විෂ වර්ගයක්ය. පුරාණයේ සිට පැවත එන පරිදි ඉක්මණින් මරණයට පත් වෙන්නාට තමාගේ මරණින් පසු ජිවිතයට සුදානම් වීමට කාලයක් නැත. එනිසා ඔහුගේ මරණින් මතු ජීවිතය වේදනාකාරිය. එනිසා හළාහල පුජාවේදී පුජකයන්ට ලබා දෙන්නේ ඉතා සෙමෙන් ක්‍රියාත්මක වන සහ සිරුර මමිකරණයට පහසු වන විෂ වර්ගයකි. මරණින් මතු ජීවිතය වාසනාවන්ත වීම කෙසේ වෙතත් අහ්මෙට් දින තුනක් පුරා නොවිදිනා දුක් වින්දේය. වස පානය කිරීමෙන් අනතුරුව පැය දොළහක් ඔහු විසින් ඉතා ස්ත්‍රෝත්‍ර කියවන්නට යෙදුනද ඉන් අනතුරුව ඔහුගේ කටහඬ පැටලුන සැටිත්, සිරුර පුරා ලේ ගඩු මතුවී පුපුරා ගිය හැටිත් , ඔහුගේ මර ලතෝනිය අස්සේම පිරමිඩය වසා දැමූ හැටිත්, අනතුරුව තමා තවමත් ජිවත් වන බව අඟවන සීනුව ඔහු විසින් නොකඩවා හඬවන්නට පටන් ගත් නිසා පුජකවරු රහසේම සීනුවේ හඬ අඩු කල සැටිත්, සිව්වන දිනයේ ඔහුගේ සිරුර දෙවියන්ට බාර කිරීම පිණිස (මමිකරණය) පිරමිඩය තුලට යනවිට ලේ ගඩු පුපුරා තිබූ ඔහුගේ මෘත දේහයත් ආගන්ට හොදින් මතක තිබූ නිසා හෙතෙම ව්‍යාජ සිනාවක් පා රැජිනගෙන් බැගෑපත්ව සමාව ඉල්ලා ඉක්මණින් පිටව ගියේය.

************************

"ඔබ ඉතා ලස්සනයි" තරුණයා හිටිහැටියේම ඩාඩියාට පැවසුවේය.

ඩාඩියා රතු වූවාය. ඇගේ හැසිරීම තරුණයාට ගෙන ආවේ ආගන්තුක මිහිරකි.

හදිසියේම දිගු ශාලාවේ අඳුරු කෙලවර ආලෝකයක් මතුවිය. මොහොතකින් එතැනට පැමිණියේ සිසිලියාය.සිය පුතා ඩාඩියා සමග සල්ලාපයේ යෙදෙන අයුරු දුටු ඈ යන්තමින් සිනා වූවාය.

"විමන්සට මිතුරියක් ලැබී ඇති හැඩයි" ඈ පළමුව කතා කලේ සිය පුත්‍රයාටය.

ඩාඩියා එවැනි නමක් ඇසුවේ පළමු වතාවටය.එය ඈට ඇසුනේ සංගීතයක් ලෙසය.

"ඈ හොඳටම බිය වෙලා උන්නේ අම්මා. මට ඈට කැමැත්තක් ඇතිවුණු නිසා කතා කරන්නට සිතුනා"

"ඒක හොඳයි. කොහොමත් ඈට ටික දිනක් මෙහිම ඉන්න වෙනවා. ඈ ඉන්න තැන දැන ගත යුත්තේ අප දෙදෙනා සහ හීලියා පමණයි"

"හීලියා.. ඒ තක්කඩි කෙල්ල රහස රකිවිද අම්මා"

"මට ඔබට වඩා ඈව විස්වාසයි" සිසිලියා සිය පුත්‍රයාට කතා කලේ හුරතලයෙනි. අනතුරුව ඈ ඩාඩියා දෙසට හැරුණාය.

"සැඟවෙන්න හැදුවාට ඔබවම ඔහු දැකපු අයුරු හරි පුදුමයි නේද. ඔහුට පුදුමාකාර ඉවක් තියෙනවා ඔහුගෙන් සැඟවෙන අයව සොයාගන්න"

ඩාඩියා හිස පහත් කර ගත්තාය. සිසිලියාට ඈ ගැන කණගාටුවක් ඇතිවුනේය.

"ඔබ පැමිණි දා ඉඳල මට ඔබව විශේෂයි. බොහෝ කෙල්ලන් ආගන් ගේ පහස සලකන්නේ ගෞරවයක් හැටියටයි. මීට පෙර මම කෙල්ලන් තුන් දෙනෙක් ඔහුගෙන් ගලවා ගත්තා. ඔවුන් තුන් දෙනාම දැන් ඉතා හොර රහසේ නමුත් සතුටින් ජිවත් වෙනවා"

"ඔබතුමියගේ කරුණාව ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" ඩාඩියා තෙපලුවේ සිහින් ස්වරයෙනි.

"ඔබට මෙහිම කුටියක් මම පෙන්වන්නම්. මම අනෙක් අයට කියන්නේ ඔබව "සෙත්" දෙවියන් කැඳවා ඇති බවයි. එවිට ඔවුන් නිහඬ වේවි"

ඩාඩියා හිස සැලුවාය.

කලබල වලට අධිපති වූ නිසාම ඊජිප්තුවේ සියල්ලෝම 'සෙත්' දෙවියන් ගේ බැල්මෙන් සැඟවී සිටීමට බොහෝ සෙයින් වෑයම් කළහ. යමෙකුට 'සෙත්' ගේ බැල්ම වැටි ඇත්නම්, ඒ තැනැත්තා ගැන කතා කළහොත් 'සෙත් ' ඊළඟට තමුන් පසුපස පැමිණෙන බව පුරාණයේ සිටම ඊජිප්තුවේ පැවති විශ්වාසයකි.


මීළඟ කොටසට...


10 comments:

  1. රොටිය බබා ගේ මේ කතාවේ මුල් ටික කියෙව්වේ නැති නිසා ඒ ටික කියවලාම එන්නං..

    ReplyDelete
  2. සිත්ගන්නාසුළු කතාවක්. මම මුලසිටම කියෙව්වා.... ඉක්මනට ඉතිරි කොටසත් දානවා නම් රොටියා 'කිරි රොටියා' වනු ඇත!! ;-)

    ReplyDelete
  3. අතිවිශිෂ්ටයි රොටියාතුමනි! අදයි දැක්කෙ අටම්පහියෙදි ඔබේ බ්ලොගය.කොටස් හතරම එක එකක් හතර වර බැගින් කියැ වූ බව ප්‍රහර්ෂයෙන් සබහුමානව දන්වමි.

    ReplyDelete
  4. යාන්තම් ලියලා ,හරි රසවත් දීගටම ලියන්න

    ReplyDelete
  5. නියමයි රොටී... ඉක්මනට අනික් කොටස් ටිකත් දැම්මනන්...

    ReplyDelete
  6. අනිත් කොටසත් ඉක්මනින්ම දාන්න

    ReplyDelete
  7. එල රොටියෝ එල.. කොටස් හතරම එක හුස්මට කියෙව්වා.... අනික ඉක්මනට දාන්න්න.......

    ReplyDelete
  8. මං ආසාවෙන් කියවන කතාවක් රොටී ඉක්මනට කොටස් දාන්ටකෝ

    ReplyDelete
  9. රොටියෝ මේක හරිම ලස්සන, වෙනස් නිර්මාණයක්. මේක නව කතාවක් කරන්න. අතිශය සාර්ථක වෙයි.

    ReplyDelete