Wednesday, September 17, 2014

දෙනෙත් අභියස පිපි ලිලී මල - රොටියාට පිළිතුරු දුන් මිතුරෙකුගේ නිර්මාණයකි. අයිතිය ඔහු සතුයි

දෙනෙත් අභියස පිපි ලිලී මල - දුටුව හද කිති කැවූ නියා
සිනාසෙන්නට නොසිතු හදවත - සලා විහඟුන් පත් පියා
ඉක්ම යන්නට කලින් ක්ෂිතිජය - එක් පතක් අන් සතු නියා
තනි පතින් මා මක් කරන්නද - බලා ඉන්නෙමි නෙත් පියා

සිනහ යදමින් තදින් බඳිමින් - දෙනෙත් සිරගෙයි අගුලුලා
ඇගෙන් ලද සෝ යකුළු පහරින් - යදම් බිඳ නිදහස ලබා
මදින් වියරුව ගිගුම් දෙවමින් - කෝප වූ ගජ මෙන් නොබා
බලෙන් වැසු නෙතු පියන් අතරින් - දුකින් හුනු කඳුළැල් ගලා

සඳක් කුමකට එසඳ කිරණින් - පහව යන්නට අඳුර නැතිනම්
මලක් කුමකට රුව සුවඳ නැති - අඩුම තරමින් ඵල නොදෙයිනම්
විලක් කුමකට පස් සියුම් පිපි - දැවෙන පවසට දිය වරයි නම්
හදක් කුමකට තවත් හදකින් - නැගෙන දුක් දැක සිනාසෙයිනම්

එදා අවදිව නෙත් කොනින් දුටු - සිහිනයට සිත ඇමිණුනා
නිදා අවදිව සොයන සඳ ඇය - බදා හිස අත් එසවුනා
මුදා හල මුත් නැගුනු සුසුමන් - හදේ ගින්දර ඇවිළුනා
නිවා ගන්නට නැගුනු සෝ ගිණි - පුරුදු කවියා සිහි උනා

නොදුටු හින්දා බොහෝ කලකින් - දකින්නට ඉපැදුනු පෙමින්
දන්නා කියනා බොහෝ අයගෙන් - විමසමින් විපරම් කරන්
ඇයිද "උඹ" කවි ලියන්නැත්තේ - අසනු රඬුගිලි දිගුකරන්
සොයාගෙන "ඔහු" අඳුරු යාමෙක - පා තැබිමි පෙදෙසට සොහොන්

පුරුදු කඳුලට නුහුරු සතුටට - ඉඩක් දී නොතබා තිතක්
සොඳුරු හැඩයට අකුරු අමුණා - කතා කියනා කවි හිතක්
බලා ගන්නට දෙනෙත් යොමමින් - සීත අඳුරට තව වරක්
නොහැක අදහනු පුරුදු කවියා - නොවේ දුටුවේ හොල්මනක්

හිරුට පුන්සඳ සිනාසෙන්නට - සොයන විට හිරු මැලවිලා
බඹර පහසට පිපි කුමුදු මල - අළුයමට පෙර පරවෙලා
නිමල ගංදිය පවර සිඳුතෙර - සිඹින්නට පෙර වියැලිලා
නුඹේ කවියා සොයා ගත්තද - මගේ කවියා මියැදිලා


රොටියා සහ ගෑණු ළමයාගේ ඩයට්

පහුගිය ටිකේ රොටියා නැට්ටටම ෆ්ලැට් වී උන්නු අතර දැන් කියාද එහි මහලොකු වෙනසක් නැත්තේය.කොටන්නට සත කාලක පණක් නැතිව කොට කොට උවද මේ පොස්ටුව කොටන්නේ රොටියාට අද සිදුවී ඇති අලකලංචිය හෙට කියවන ඔබටද සිද්ද වෙන්න පුළුවන් නිසාය. නිදාන කතාව මෙසේය.

හොඳින් කාබී සැනසෙන්නට පුරුදුව සිටි රොටියා , පහුගිය ටිකේ තරමක් දුරට බෝලයක් බවට පත් උනු නිසා හිතේ ඇති උනු ස්වබාවික කුතුහලය නැති කර ගනු වස් ඔපීසියේ මුල්ලක කාටත් අමතකව තිබූ බර තරාදියක සිටගත් විට තරාදියේ කටුව අනුකම්පා විරහිතව අනු පහේ සීමාව තෙක්ම උඩ නැංගාය. සියලු මහදෝස තරාදිය පිටින් යවා (තරාදිය සෑහෙන කලකින් බාවිතයට ගෙන නොතිබුණු නිසා) හිත නිදහස් කරගෙන සිටි රොටියාට , නැවත වරක් හිත කරදර කරගන්නට කරුණු යෙදෙමින් අඳුනන ඩොකෙක් ළඟ තිබූ තරාදියක්ද මුල් අගයම පෙන්නුම් කළාය.

සාමාන්‍ය ප්‍රමාණය මෙන් හතර ගුණයක් පමණ වූ ඉඳිආප්ප තැටි වල , ඉදිආප්ප හදන රොටියාගේ අම්මා , එදා රෑ රොටියා තිස් හතරවන ඉඳි ආප්පයට වගකියන විට , රොටියා දෙස බලා උන් බැල්ම රොටියාට එතරම් හිත් ගත්තේ නැති අතර , හතලිස් වෙනි ඉඳිආප්පයට අත තබන විට "කෑම පොඩ්ඩක් අඩු කලොත් නරකදැයි " විමසුවාය. දරුවන්ට පුළුවන් තරම් කවන්නටම වලි කන අම්මලා ගැන අසා තිබූ රොටියාගේ හදවත මේ ප්‍රකාශයත් සමග දෙදරී ගියාය

රොටියා: අම්ම කෙනෙක් ළමයෙක්ට කියන කතාවක්ද ඔය ?

රොටියාගේ අම්මා: උඹේ අම්ම හින්ද තමයි මං කියන්නේ

රොටියා:අම්මට ඔය පේන හැටි. මං පහුගිය ටිකේ නිදි මරපු හින්ද මාව පොඩ්ඩක් ඉදිමිලා

රොටියාගේ අම්මා: හොඳ පොඩ්ඩ. ලඟදි බර කිරුවද?

රොටියා: ඔව් වැඩිය නෑ. අම්මේ මං තව ඉඳි ආප්ප පහක් කෑවොත් තාත්තට මදි වෙයිද?

රොටියාගේ අම්මා:(පිළිතුරු නොදී රොටියා දෙස රවා බලමින් පිඟාන රොටියාගේ අත මායිමෙන් ඉවත් කළාය)

රොටියා: අම්මගේ ගණන්. මං මේ කන්න ඕනෙකමට ඇහුව නෙවෙයි. අපරාදේ අහක යන නිසයි ඇහුවේ

රොටියාගේ අම්මා:උඹේ බර කීයද

රොටියා: අනු පහක් හයක් විතර. වැඩිම උනොත් අනු හතක් ඇති

රොටියාගේ මේ ප්‍රකාශයත් සමඟ රොටියා අදි තරබාරුවෙන් පෙලේයයි භීතිකාවෙන් පෙලෙන්න වූ රොටියාගේ අම්මා රොටියාගේ කෑම සිමා කිරීමෙන් නොනැවතී ඒ පිළිබඳව වගකිව යුතු පාර්ශ්වයන් දැනුවත් කිරීමටද පෙළඹුණාය.

සති තුනක් පමණ බෙල්ල කඩාගෙන වැඩ කිරීම නිසා අතුරුදන්ව සිටි ගෑණු ළමයා , වහාම මුණගැසෙන ලෙස දන්වා ඇමතුමක් දුන්නේ ඊට පහුවෙනිදාය

යකා උනත් දකින්නේ සති තුනකට පසුව නිසා බොහොම රොමෑන්තික මුහුණක් දමාගෙන (දවල්ට කන්නේ කොහෙන්දැයි හිතමින්) ගෑණු ළමයාව මුණගැහෙන්නට ගිය රොටියා මුහුණ දුන්නේ අතිශය බියකරු අත්දැකීමකටය

රොටියා: මං ආවා

ගෑණු ළමයා:(පුදුමයට පත්වූ මුහුණෙන් මොනවදෝ මුමුණයි)

රොටියා: මොනාද අනේ මුමුනන්නේ. ඇහෙන්න කියන්නකෝ..

ගෑණු ළමයා: අම්ම කිව්ව හරි..බලන්න ඔයාගේ කැත. අලියෙක් වගේ

රොටියා: මේ අපි මුලින් මොනා හරි කාලා ඉමුද? ඊට පස්සේ ඕනේ තරන් මට බනින්න

ගෑණු ළමයා: හරි යමුකෝ.. මම ඩ්‍රයිව් කරන්නන්

ඉතින් තමුන්ව ඉතාමත් හොඳ ආපන ශාලාවකට ගොස් පුදුම කරවන්නට ගෑණු ළමයාගේ රහස් සැලසුමක් ඇතැයි ප්‍රීතියෙන් ඔකඳ වූ රොටියා (මින් පෙර ඈ එවැනි දේ සිද්ද කොට ඇත්තේය) රියදුරු අසුනට යාබද අසුනේ හරි බරි ගැහුනාය

හොඳ කෑම ගැන රසවත් හීන අතරින් කිමිදෙමින්, ඒවා ගැන දොඩවමින් උන් රොටියා ගෑණු ළමයා අරෙහෙන් මෙහෙන් හරවමින් යන්නේ මොන තුත්තු කුඩියකදැයි වද වුනේ නැත. නමුත් අන්තිමට ඈ වාහනය නැවතූ තැන නම් වුයේ ආපනශාලාවක පෙනුම හෙම නම් නොවේ

පොඩි වැඩක් ඇතැයි සම්යප්‍රයෝගයක් දමා ගෑණු ළමයා කෙසේ හෝ රොටියාව ඇතුලට දක්කාගෙන ගිය අතර , කෑම ගැන සිහින් දකිමින් ගිය රොටියාට සිද්ද වුයේ අහාර උපදේශකයෙකු මුණ ගැසෙන්නටය. රොටියාගේ බර හා මේදය ගණන් තැබූ උපදේශකවරියගේ ඇස් නලල්ගත වූ අතර ඈ පැය දෙකක් තිස්සේ හාරාඅවුස්සාගෙන අවුස්සාගෙන ගොස් අවසානයේ රොටියාට ඩයට් ෂිට් යයි කෙහෙල් මලක් දුන් අතර බඩගින්නේ ඉඳීමට වඩා වැඩි යමක් එහි තිබුනේ නැත.

ඉන් නොනැවතුණු ඒ ස්ත්‍රී තොමෝ වහාම ක්‍රියාත්මක වන පරිදි කිලෝ පහලොවකින් වත් බර අඩු කර නොගතහොත් නුදුරු අනාගතෙයේම රොටියා ලෙඩෙකු වනු ඇතැයි රොටියාගේ ගෑණු ළමයාට අනතුරු අගවන්නටද යෙදුනාය. එතැන් සිට රොටියාගේ ජිවිතයේ මල් සමය නිමාවී ඇති අතර මේ දිනවල කනවා යයි හිත රවට්ට ගනිමින් ලෙව කන නිසා රොටියා තෝන්තු වී ඇත්තේය.

මේ දිනවල පැය දෙකතුනකට වරක් රොටියාට ගෑණු ළමයාගෙන් ඩයට් ඇමතුමක් ලැබෙනවාය

ගෑණු ළමයා: හෙලෝ රොටියා කෑවද?

"මොනාද කෑවේ?"

"අද බර කිරුවද?"

"බර කියද?"

"ෂෝක් අනේ . ග්‍රෑම් පන්සියක්ම අඩුවෙලානේ. අපි ගිය තැන හොඳයි නේද අනේ සල්ලි ටිකක් වැඩිපුර ගත්තට"

ඕනෑ හත්තිලව්වක් වෙද්දෙන් කියා කාගෙන කාගෙන යන්න හිතෙන්නේ ගෑණු ළමයා ඔන්න ඔය අන්තිම වාක්‍ය කියද්දිය. බැරි අමාරුවෙන් නොකා ඉන්නේ රොටියාය. ඒත් සල්ලි ගන්නේ අර කෙහෙල්මල් ඩයට් උන්දෑය.

ඒක හරියට වැසිකිලි පහසුකම් සපයා මුදල් ගන්නවා වැනි වැඩකි. ඔක්කොම කරන්නේ අපිය. ඒ කොට එව්වන්ට මුදල් දෙන්නත් ඕනෑය..