Friday, November 15, 2013

රොටියාගේ ගෑණු ළමයාගේ කියුටෙක්ස්

පහුගිය දිනක රොටියාට මදි නොකියන්න බේත ලැබුණාය. ඒ කෙසේද යත්, රොටියා සහ ගෑණු ළමයා ගමනක් යන්න සෙට් වී, ගෑණු ළමයාගේ ගෙදරින් ගෑණු ළමයාව වාහනයට ගොඩ කර ගෙන ඇගේ මුණ බැලූ රොටියාට රෝස පැහැ මුහුණක් සහ රතු පැහැ දෙතොලක් පෙනුනි.
‘ආ කියුටෙක්සුත් ගාලා’ රොටියාට ඉබේම කියවුනාය. එසැනින් රතු පැහැ දෙතොල රොටියාගේ බල්ලාගේ පස්ස පැත්ත වගේ රැලි ගැසී, රෝස මුණ රතු වූ වනාහි, වැඩේ සුබ මොහොතින් අල වූ බව රොටියාට වැටහුණාය. රොටියා යනු ලිප්ස්ටික් කියුටෙක්ස් වෙන් වෙන්ව අඳුනාගත නොහැකි පල් බුරුවෙකු බවද, කැම්පස් ගියාට රොටියා විබාගේ පාස් වී ඇත්තේ උත්තර පත්තරේ බලපු එකාට වැරදිලා නිසා බවද යනාදී වශයෙන් රොටියාගේ උපතේ සිට සවිස්තර වාර්තාවක් ගෑණු ළමයාගෙන් රොටියාට ලැබුණි. එම කතාවෙන් රොටියා උගත් වැදගත්ම පාඩම නම් ලිප්ස්ටික් ගාන්නේ තොලට සහ කියුටෙක්ස් ගාන්නේ නියපොතු වලට බවය.
ගෑණු සරීරය සරසන්න දාහකුත් තව එකුන් සියයක් තරම් වූ අලේපයන් ඇත්තේය. ඒවායේ නම් වෙන් වෙන් වසයෙන් දැන කියා ගන්නට නම් පිරිමින් වූ අප මාස හයක වත් පුර්ණ කාලීන පාටමාලාවක් කල යුතු බව රොටියාගේ නම් අදහසය. දවසක් ගෑණු ළමයා නොහිටිය වෙලාවක ඇගේ ගෙදර ගිය රොටියාට නැන්දම්මාගේ ඇස වසා ඇගේ කාමරයට රින්ගිමේ අහඹු පොටක් පෑදුනේය. ඇගේ මේසය මත තිබූ බොඩි වොෂ්, ෆේස් වොෂ්, ෆේස් ක්රීම්, බොඩි ක්රීම්, ෆුට් ක්රීම්, හෑන්ඩ් ක්රීම්, සන් ක්රීම්, නයිට් ක්රීම්, ඩේ ක්රීම් ආදී වූ අට අනූවක් කළමනා දුටු රොටියාට, රොටියාගේ අනාගතය පිළිබද සාදාරණ බියක් හටගත්තාය. (ඉහත ලැයිස්තුව රොටියාට හදිසියට ජන්ගමයාට එන්ටර් කර ගත හැකි වූ ලැයිස්තුව පමණි. පැයක් හමාරක් කාමරය සෝදිසි කල නම් පුල්ස්කැප් කොළ පනහක් හැටක් වූ තරම් ලැයිස්තුවක් ලියන්නට තිබුණාය)
පුදුමය කියන්නේ ඔය කියන තරන් කළමනා උලා හිටියද, උදේට ලයිෆ්බෝයි ගා මුණ හෝදන රොටියාගේ මුණේ හා ඇගේ මුණේ එතරම් වෙනසක් නැති වීමය. සමහර දවසට ඈ නියපොතු වලට පාට ගාගෙන, ඒ මැද්දෙන් බලි ඇරියා වැනි මල් අලවාගෙන ලස්සනදැයි රොටියාගෙන් අසයි. ඒ මොන උලව්වක්දැයි රොටියා අසන කල නේල් ආර්ට් කලෙමි යයි පවසයි.
රොටියාගේ ගෑණු ළමයා පමණක් නොව සමහර දාකට පාරේ යන විට රොටියා දකින ගෑණු ළමුන් ද ලේඩි බර්ඩ් කුරුමිණියන් වැනිය. ඇසි පිය කොළ පාටය, කම්මුල් රතු පාටය. දෙතොල් දම් පාටය. ඒ ලස්සන වීමැයි උන් සිතා සිටිනවානම් හොම්රන් පැස්ටල් පාට පෙට්ටියකටද ලස්සන ගෑණු ළමයෙක් යයි කිව හැක්කේය.රොටියා හිතන ආකාරයට ප්රශ්නය ඇත්තේ ගෑණු ළමුන් මල් වැනිය කියා මුලින්ම දෙසා බෑ එකා අතය. ඌ කට කහනවාට කී කතාව එහෙම්පිටින්ම ගිල ගත් ගෑණු උදවිය දැන් මල් වගේ වෙන්නට ඒ වගේ පාට මුණේ උලනවා වන්නට ඕනෑය.

                                      


2 comments:

  1. මරු බන් රොටියෝ.... ^_^ .... මේක මම කලිනුත් කියෙවුවා.... අද ආපහු හිතුනා මේ පැත්තෙ ඇවිල්ලා යන්ඩෝන කියලා..... මං අර හොඳට තියෙන එවුවා අමුතුවට දකින බුකියෙ පිස්සා ඈ....... :3

    ReplyDelete
  2. /* පැයක් හමාරක් කාමරය සෝදිසි කල නම් පුල්ස්කැප් කොළ පනහක් හැටක් වූ තරම් ලැයිස්තුවක් ලියන්නට තිබුණාය */

    පැයක් හමාරක් කාමරයේ ඉන්න ලැබුනොත් බඩු ආම්පන්නවල ලයිස්තු හදන්න ප්ලෑන් කරන එකෙක් ගැන ඇහැව්වාමයි මේ!

    ReplyDelete