Tuesday, February 16, 2016

ඔව් මම එහෙම තමයි. ඇයි ප්‍රශ්නයක්ද?

රොටියාගේ උප්පැන්නයට තොරතුරු දීමේදී සිදුවී තිබූ යම්කිසි ප්‍රමාද දෝෂයක් නිසා, රොටියාගේ අම්මා රොටියාගේ තාත්තාට නිතර දොස් කියනවා රොටියාට මතකය. ඒ කුමක් නිසාදැයි කුඩා රොටියාට තේරුමක් නොවීය.

රොටියාගේ සම්පුර්ණ නම ලෙස තිබුනේ අම්මා විසින් දමා තිබූ නම් දෙකකුත් අගට තාත්තාගේ නමත්ය. පොඩි පන්ති වල පොඩි එව්වන් වාසගම ගැන කතා වෙද්දී රොටියාට සිය වාසගම වුයේ තාත්තාගේ නමය. එය කුඩාවුන්ට ඒ දිනවල ලොකු මාතෘකාවක් වුනේ එහෙම වාසගමක් තිබුණු පන්තියේ හුන් එකම එකා රොටියා වූ නිසාය.

ප්‍රශ්නය හටගත්තේ තුන වසරේදීය. උප්පැන්නේ රොටියාගේ නමට ඉදිරියෙන් තිබුනේ රොටියාගේ නිල නම් තුන පමණක් වුවත් තාත්තාගේ නම පටන්ගෙන තිබුනේ "අහවල් XXලාගේ " ලෙසය. අම්මාට ගැටළුවක් වී තිබුනේ තාත්තා මොන ඇන්නෑවකට සිය සම්පුර්ණ නමම රොටියාගේ උප්පැන්නය ට ඇතුලත් කලාද යන්නයි. රොටියාගේ අයියාගේ උප්පැන්නයේ තාත්තාගේ නම මුල වාසගමින් තොරවම ලියැවී තිබිණි. ඒ ද අම්මාගේ උවමනාවටය

දන්නදා පටන් රොටියාගේ තාත්තාට තිබුනේ රත්තරන් බඩු කඩයකි. එය සහ වාසගම අතර සම්බන්දයක් කුඩා රොටියාට වැටහුනේ නැත. එය ලෝකය පෙරලන තරමට ගැටළුවක් කරගත්තේ රොටියාගේ පාසලේ ගුරුවරියන් පිරිසකි

උප්පැන්නයේ ඇති පියාගේ නමට ඉදිරියෙන් ඇති වාසගම දරුවාගේ නමට ස්වයන්ක්‍රියව ඇතුලත් වන බවට ඔවුන් ගසන බෙරපද වලට කුඩා රොටියා හැට හතර වන්නම නටන විට රොටියාගේ අම්මා වහාම ප්‍රශ්නයට මැදිහත් වූවාය. ඈ විසින් පාසලට පැමිණ අර ගුරුවරියන් රොත්තට රොටියාගේ නම නිවැරදිව කියා දුන් අතර , මාස තුන හතරකට වතාවක් යෙදෙන පාසලේ වැඩ කටයුතු වලට ලැබෙන සැලකියයුතු මුදලක් අහිමි කරගන්නට අකමැති වූ ඔවුන් හිස වනා එය පිළිගත්හ. එයින් පසු දිනකට තුන් හතර වතාවක් රොටියාව කැඳවා රොටියාගේ අලගිය මුලගිය තැන්වල සිට වාසගම දක්වා විමසමින් රොටියාට සිදුකරන ලද මානසික පිඩාව නිමා විය.

පසුව දැනගන්නට යෙදුනු පරිදි සිය පාසල් සමයේ රොටියාගේ අම්මා මීට වඩා තිත්ත අත්දැකීම් වලට මුහුණ දී ඇත්තේ සිය වාසගම නිසාය. තම දරුවන්ට එසේ නොවුණු පිණිස අම්මා සැලකිලිමත් වීම ස්වභාවිකය

සෙල්ලම නැවත පටන් ගත්තේ සාමාන්‍ය පෙළ පංතියේය. නැවත වරක් අම්මාව සිය ප්‍රශ්නයට මැදිහත් කර ගැනීමට අවැසි නොවූ රොටියා ගුරුවරියන්ට අවැසි දෙයක් කරගන්නට ඉඩදී නිහඬ විය. ඒ කලත් පස්සෙන් එලව එලවා වාසගම ගැන වද වුණු ඇත්තියන්ද නොහිටියා නොවේ.

පාසැල්වල් ගුරුවරියන්ගේ තත්වය ඔයාකාරව පවතින තාක් කල් නම් පහත් යයි හණමිටි ගැහුණු වාසගම් ඇති ඇති ළමුන් පාසල් තුල දිගින් දිගටම අපහරණයට ලක්වනු ඇත.

විශ්ව විද්‍යාලය තුලද වාසගම ගැන හොය හොයා ඇවිදින තමුන් උසස් කුලවල යයි කියාගන්නා වයලට්ලා හා අබිලින්ලා ද ඇත්තේය. ඔබට එවැනි අත්දැකීම් ඇත්දැයි නොදනිමි. නමුත් සමහරු පටන් ගන්නේම "අපි නුවර " කියාගෙනය. මේසා නාටකයක් ඉවසාගත නුහුණු එකෙක් අන්තිමේ "යකෝ" යයි පටන් ගෙන "උඹල තමයි මේ රට සුද්දට ලියල දුන්නේ ඩෝ.." (තව දෙයක් ඔහු කියූ නමුත් කාටවත් අපහාස කිරීමට කැමැත්තක් නැති නිසා එය නොලියමි) යනුවෙන් කතාව නිමකෙරූ සිදුවීමක් සම්බන්දයෙන්ද රොටියාට අත්දැකීමක් ඇත (මේ කියන්නේ නුවර සියලු ඇත්තන්වත්, බහුතරය ගැනවත් නොවන බව සැලකිය යුතුය)

රොටියාට නම් කුලය යනු තමුන්ගේ මී මුත්තන් ගැන අදහසක් ලබා ගත හැකි මුලාශ්‍රයක් පමණි. හොරු , මංකොල්ලකරුවන් , මිනීමරුවන් ගැන ඉන් කියැවෙන්නේ නැත

තම තමුන් , තම තමුන්ගේ කුලය උසස් යයි හිතාගෙන කරගසා උන්නාට කමක් නැත. ප්‍රශ්නය වන්නේ අනුන්ගේ ඒවාට හොස්ස පොවන්නට යෑමය. කුලය ඉදිරියට දමා අනුන්ව පහත් කිරීමට තැත් කිරීමය

විවාහා කටයුතු වලදීද කුලය ඉදිරියට දමා ගැනීම රොටියාට නම් වහකදුරුය.ඒ ගැන නම් මිට වඩා කතා කරන්න යන්නේ නැත

ඉස්සර නම් වාසගම ගැන අහන එව්වන්ට රොටියා උත්තර දුන්නේ "ශ්‍රී වික්‍රම රාජසිංහ ලාගේ " කියාය. එවිට රවුන් වන උන්ගේ මුණු බලන්නට රොටියා මාර කැමතිය
රොටියාගේ ආච්චි නම් ඉන්නේ සිය කුලය ගැන මාර ගැම්මෙනි. අහන ඕනෑ අයෙකුට ආච්චි කියන්නේ " අපේ මිනිස්සු තමයි රජාගේ ඔටුන්න පයින් පාගාගෙන හැදුවේ " කියාය. එනිසා දැන් රොටියාද ආච්චිගේ ගැම්ම හිතට ගෙන අහන ඕනෑ කෙනෙකුට තම වාසගම අමුවෙන්ම කියනවාය

ලිපිය ලියන්නට සිත්වූයේ ජයකොඩි සෙනවිරත්න විසින් ලියා ඇති "දිසාපාමොක් කතාවේ " නවන්දන්න කුලය පහත් යයි සඳහන් කිරීම නිසාය.

44 comments:

  1. මේකනෙ අය්යණ්ඩි.. ලංකාවෙ ජීවත් වෙන කොට ඕවගෙ ප්‍රශ්නවලට මූණ දෙන්න සිද්ධ වෙනවා.අහවල් කුලේ අහවල් කුලේට වඩා පහත්.. පිරිමින්ට වඩා ගෑණු පහත්.. තමුන්ගෙ ජාතියයි, ආගමයි අනිත් එව්වට වඩා උසස්.. ඔහොම ඒවා තියෙනව ඉතින්.කවදහරි දවසක ලංකාවාසීන්ට පුළුවන් වුණොත් මේ කිසි භේදයක් නැතුව අපි හැමෝම මිනිස්සු කියලා හිතන්න එදාට අපේ රටට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්...

    කුල භේදයට නම් පහුගිය කාලෙ සෙංකොට්ටං පොතෙන් ලොකු අතුල් පහරක් වැදුණා.. තව තවත් එ් වගේ දේවල් සමාජගත වෙනව නම් ඔය මෝඩ උස්පහත්කම් ඊළඟ පරම්පරාවෙන්වත් අයින් කරලා දාන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. සෙන්කොට්ටන් පොත ගත්තට කියවන්න හම්බුනේ නැහැනේ.කියවන්න ඕනේ ඉක්මනටම
      මේ ප්‍රශ්නය මිට කලිනුත් කතා කරලා තියෙන එකක්. කතා කරන එකක්. වැඩේ කියන්නේ අලුත් පරම්පරාවේත් මේ වගේ අදහස් කරපින්න ගෙන ඉන්න අය තාම ඉන්න එකනේ.

      Delete
  2. //ලිපිය ලියන්නට සිත්වූයේ ජයකොඩි සෙනවිරත්න විසින් ලියා ඇති "දිසාපාමොක් කතාවේ " නවන්දන්න කුලය පහත් යයි සඳහන් කිරීම නිසාය.//

    any link?

    ReplyDelete
    Replies
    1. Sir, I think there is no online version of the corresponding book. But I have the book and I'll try my best to upload some pics of following pages.

      Delete
  3. කුලය කියන කුණු රෙද්ද නං නිතරම ගලේ ගහනව නෙ
    ඒත් කොච්චර ගලේ ගැහුවත් ඕකෙ තියෙන කුණුප අයින් නෙවෙන එක නං හෙම්ප ගැටලුවක් තාම අපේ සම හරක් ඉන්නෙ ඔන්න ඔය හුයන්න ඔලුවෙ තියාගෙන නෙ
    මටත් දිරවන්නෙම නැති හු*&%$

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං . මටත් මල පනිනවා

      Delete
  4. නෑ මචං කිසිම ප්‍රශ්ණයක් නැහැ...

    ReplyDelete
  5. ඒ කියන්නේ ඔහෙල සිංහ ලේ නෙමෙයිද? හැක්

    ReplyDelete
  6. අඩේ! මගේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් තව එකෙක්.

    මගේ නම : යශෝධා සම්මානි ප්‍රේමරත්න
    තාත්තාගේ නම : පලිහවඩනගේ ප්‍රේමරත්න ප්‍රනාන්දු
    තාත්තා කල පණ්ඩිතකම : ප්‍රනාන්දු නම හැමෝටම තියෙන නිසා තමන්ගේ ළමයින්ට ඉස්පෙසල් 'ලස්සන' වාසගමක් දැමීම තමන්ගේ වගකීමයැයි හිතට ගැනීම.
    ඒ වෙනුවෙන් බස්සිට ගෙවන්න සිදුවුන මිල : පෝස්ටුවකින්ම කියන්නම්.

    ReplyDelete
    Replies
    1. බස්සිගෙ තාත්ත අපි අහල තිබුනෙ ප්‍රේමරත්න පලිහවඩන කියල. යශෝධා සම්මානි පලිහවඩන කියල දුවට නම දාන්නත් තිබුන ඕන නම්.
      මිල ගෙවන්න වුනා කියන එක පැහදිලි මදි. ප්‍රනාන්දුල කටුනායක මැජෝරිටියනෙ. අර සින්දුවකුත් තියෙන්නෙ ඔයත් ෆනැන්ඩු මාත් ෆනැන්ඩු කියල.සමහර විට බස්සි ඒ ගොල්ලන්ගෙ කෙනෙක් නෙමෙයි කියල හිතුවද දන්නෙ නෑ.

      මට මතක් වෙනව සිද්ධියක්.
      බලපිටියට ට්‍රාන්සර් වුන මගෙ යාළුවෙක් එහෙ නවාතැනක් හොයනකොට ඔය වාසගම් ප්‍රශ්නෙත් ආවලු. වයසක ගෑනු කෙනෙක් ඇහුවලු පුතත් අපේ කෙනෙක් නේද කියල. ආ ඔවු ආච්චියෙ මං ...... සිල්ව තමා කියල කිව්ව.
      පීඩිත කුල බහුතරය වුන ප්‍රදේශවල ඒ අයගෙ හෙජමොනියක් තියනව. ඒ අයට ඒ ගොල්ලො පොරවල් කරපු කතා සාහිත්‍යයකුත් තියනව.අපරාදෙ බ්ලොග් එකක ඔය ගැන ලිපි පෙලක් යන්න ගිහින් මම ඉස්සර වෙලා ඒක නතර වුනා.මගෙ කට හොද නෑනෙ.

      Delete
    2. බස්සිගේ තාත්ත බොහොම රැඩිකල් සුන්දර මනුස්සයෙක්. ඒ වගේ සොඳුරු නමක් වාසගම විදියට තියෙන එක ආඩම්බර වෙන්න ඕනේ කාරණයක්
      මාත් කතාවක් කියන්නං. මට ඉස්කෝලෙදි උනු. මේකට සම්බන්ද මනුස්සය පහේ අටේ පංතියෙන්ද කොහෙද අපේ ඉස්කෝලෙට ආවේ.පොර කොහොමත් හෙන ඔලුවෙන් හිටියේ. අපිත් මෑන්ස් ව ගණන් ගන්නේ නෑ. පොරගේ තාත්තටත් රත්තරන් බඩු කඩයක් තිබ්බ.
      ස්පෝර්ට් මිට් කාලෙක වල බැහැල ඉන්න වෙලාවක පොරත් සෙට් උනා අපිත් එක්ක.මිනිහ අරින්න තියාගත්තේ නැද්ද හෙන නයෙක්. තාත්තගේ කඩේ ගැන. ඔන්න අපිත් ඉන්නවා මල තදකරගෙන
      පොර: හයියෝ ඒ මොනවා උනත් වැඩක් නෑ බං
      අපි: ඒ මොකෝ
      පොර: රත්තරන් බඩු කඩයක් තියෙන හින්ද හැමෝම හිතන්නේ අපිත් ඒ කාස්ට් එකේ එකේ කියල . විලි ලැජ්ජයි බං
      අපි: ඒ මොකෝ
      පොර: ඇයි බන් රත්තරන් වැඩ කරන්නේ අඩු කුලේ අයනේ.
      අපි: එතකොට උඹ
      පොර: අපේ තාත්තල ..ගම. අම්මා ....ගම
      එතනින් එහාට පොරට අත්වුණු ඉරණම හරිම සෝචනීයයි

      Delete
    3. සිව්වැනි මානය, ඔය වගේ තැන් වලදී කට ඉස්සර කරගන්න හොඳ නෑ. මාත් තවම ඉගෙන ගනිමින් සිටින පාඩමක්

      Delete
  7. වාසගම් ගැනනම් මට ප්‍රශ්නයක් වෙලා නැහැ.හැබැයි මගේ නමේ මුලට මොකුත් එන්නෙ නැහැ.ඒ නිසා දිග නමක් නෙවේ. :) ඇත්තටම රෝටියගේ වාසගම මොකක්ද :P

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ රොටියෙගෙ වාසගම දන්නෙ නැද්ද කොත්තු ගේ හෝ පොල් ගේ හෝ හාල් ගේ හෝ වෙන්න ඇති

      Delete
    2. අපි නම් ලුණු මිරිස් ලාගේ පොල්රොටි

      Delete
    3. :D :D එහෙනම් අනාගතේ කොත්තුගේ පොල් ගේ ලුනුමිරිස්ලාගේ පොල් රොටි පරම්පරාවක් රොටි වාසගම ඉදිරියටම ගෙනියයි ..ජයවේවා :P

      Delete
  8. කොත්තු රොටි මෙයා කොත්තු රොටි කැමතිනම් ඔයා උණු රොටි කියලා හිතාගන්න

    ReplyDelete
    Replies
    1. ඇයි තව ඔය මොඩ් රොටි ජාතිත් තියෙන්නේ ඕසෙට

      Delete
  9. කතාකර වැඩක් නැත.

    අපේ අප්පච්චිත් කරාපු පණ්ඩිතකම තමයි ගෑණුළමයින්ට වාසගම ( අරයාගේ මෙයාගේ කියා තියෙන කොටස ) ඕනේ නැතිය කියලා ඒ කොටස හලා දමා අවසානයට තිබ්බ සරල නම් කොටස ඇමිනීමයි. අවසානෙට උනේ අක්කයි මමයි 'අරයාගේ' නොවන බව සහ අය්යා 'අරයාගේ' වීමයි! මට දැන් මතක් වෙනකොටත් අපුලයි

    ReplyDelete
    Replies
    1. ඕවා මුලින්ම ප්‍රශ්න වෙන්නේ ඉස්කෝල වලදිනේ. ළමයට අන්තිමට හිතෙනවා තමුන්ට නමක් නොතිබුනා නම් හොඳයි කියල

      Delete
    2. උපේක්ෂා, උඹ මට වෙච්ච එක පහල කමෙන්ට් එකේ කියවලා බලාපං ඕකෙ අනිත් පැත්ත කරන්න ගිහින්.

      Delete
  10. අපි ඉන්න කාලෙත් හිටියා අපි නුවර කියලා කියා ගන්න කට්ටියක් හැබැයි එයාලගේ අම්මලා තාත්තලා නුවර රස්සාවට ඇවිල්ලා අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් එහෙම.. ඉස්කෝලේ ගියේ නුවර නිසා එයලා නුවර... හැබැයි එයාලටත් අර රොටිය කියපු උෂ්ණය ගහලා නුවර පදිංචි වුන නිසා..

    ReplyDelete
    Replies
    1. කුල ක්‍රමයනම් ඓතිහාසිකව විකාශනය වුන එකක්. උපන් ප්‍රදේශය ගැන මාන්නයක් තියන එකටනම් මට හිනා ගියා. සමහර විට ඔය කට්ටිය පීඩිත කුලයකට අයිතිද දන්නෙ නෑ. කුල කතා ,උපන් ප්‍රදේශ කතා වැඩියෙ කියන්නෙ වෙන කියන්න කිසිම දෙයක් නැති අය සහ වෙනත් හීනමානයක් තියන අය.

      Delete
    2. අපි නුවර,අපි කොළඹ ,අපි මාතර ,අපි යාපනේ කියන පැෂන් එකක් තියනව. කවුරුහරි මා ඉදිරියෙ එහෙම කීවොත් මමනම් බක බක ගාල හිනා වෙනව.

      ඕකෙ තව පැත්තක් තියනව. සමහර ගම් නෙගටිවු. උදාහරනයකට මඩකලපුවෙ කියන එක නෙගටිවු එකක් ලු. ආනමඩුවෙ වුනත් ආනමඩුවෙ කියල පෙන්නන්න එපා කියල ආනමඩුවෙ අය කියනව මං අහල තියනව. තුම්පනෙත් එහෙමයි. තුම්පනේ මෝඩයන්ට ප්‍රසිද්ධයි කියනව. කවුරුහරි අපි නුවර කිව්වොත් තුම්පනේ පැත්තෙද කියල හිනාවෙලා අහන්න ඕන. වැඩ බැරි වුනත් ගම ගාල්ලෙ කියලත් කියනව. දැන් නම් උඩරට කියනවට වඩා දකුනෙ කියන අභිමානය වැඩියි වගෙ. මහින්දගෙ කාලෙ මේක උපරිමයටම නැගල තිබුනෙ.

      Delete
    3. තුම්පනේ දැන් හඳුන්වන්නේ 'හතරලියද්ද' කියලා. මතකද අර සරණංකර හාමුදුරුවන්ට කිව්වාය කියන්නේ 'නම සරණංකර උනත් ගම තුම්පනේ නේ' කියල.

      සිරාවටම මමත් ඔය වත්පොතේ 'මම අහවල් දිහාවේ' කියල දාන පෝස්ටු වලට හිතාමතාම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒවා ගොන්පාට්.

      Delete
    4. ගමෙන්, කුලෙන් මිනිහෙක්ගේ වැදගත් කම තීරණය වෙනවා නම් මොනවා කරන්න බැරිද

      Delete
  11. කුලය ගැන බ්ලොග් වල සංවාදයක් ඇති වුනා වගෙ. ඒ කාලෙ රැකියා තමයි ඔය කුල කියන්නෙ. අද වගෙ නෙමෙයි රස්සාව පරම්පරාවටම ගිය නිසා කාටවත් වෙන රැකියාවකට යන්න බැරි වුනා.
    වාසගම් ඉවත් කිරීමෙන් කුල වාදය සහමුලින්ම අතුගා දැමිය හැකියි.පීඩිත කුලවල අය මෙය දැනටමත් කරනවා. කාලයක් යනකොට කුලවාදය සහමුලින්ම නැතිවෙලාම යයි. මිශ්‍ර කුල විවාහ බහුල ලෙස සිදුවන නිසා.

    නවන්දන්න කුලය පහත්ය කියන එක විකාරයක්. ඒක ශිල්පයක්. ශිල්පයක් කොහොමද පහත් වෙන්නෙ. නැකති මිනිස්සු පහත්ය කියනව. නැකත් ශාස්ත්‍රය කියන්නෙ ගනිතමය ශාස්ත්‍රයක්. සමහරුන්ගෙ වාසගම් නිපුනච්චාරි ගනිතයලගෙ වගෙ ඒව ( ගණිතය පිලිබද නිපුන ආචාර්යවරයා ). හැබැයි ගොවියන්ට වඩා පහත්ලු මාරයි.

    කාලිංඝ මාඝ මාර වැඩක් කලාලු .බලෙන්ම කුල මිශ්‍ර කලාලු. ඔහු අගනා සමාජ සංශෝධනයක් කරල තියෙන්නෙ. වර්තමානයෙ තියන කුල ක්‍රමය මාඝට පස්සෙ දඹදෙනි යුගයෙ ඉදන් එන එකක් වෙන්න ඇති.කරාව සලාගම වගෙ කුල වල සම්භවය ඊටත් පස්සෙ.

    රොටිය නිර්ව්‍යාජව බයනැතිව තමන්ගෙ අදහස් කතා කරන කෙනෙක්. මම හරිම කැමතියි ඒකට.

    ReplyDelete
    Replies
    1. නවන්දන්න කියන කුලය ශිල්ප නවයක් දන්නා උදවිය කියලයි මමත් අහල තියෙන්නේ. අනෙක් කුල උනත් එහෙමයි. හැමෝටම විශේෂ යම්කිසි කර්මාන්තයක් තියෙනවා. එක ප්‍රජාවක් නැත්නම් අනෙක් අයටත් පැවැත්මක් නැහැ
      ඔබේ කොමෙන්ටුවේ තියෙන තොරතුරු ඉතා වැදගත්. තවත් මේ ගැන දන්නවා නම් විස්තරාත්මක ලිපියක් ලියන ලෙස ඉල්ලන්න කැමතියි.
      ඉස්තුතියි අගය කිරීමට

      Delete
  12. ඔය කුල ක්‍රමයට පාදක උනේ ඒ කාලේ ලංකාවෙ තිබ්බ රැකියා වර්ග. ඉඩම් හිමි යන් රදළයන් හැටියටත්, හොවිකම් කරපු අය ගොවිගම හැටියටත්, ආදී වශයෙන්. ලංකාවෙ කුලක්රමේ එච්චරම වරදක් නෑ. මොකද ඉන්දියාවෙ වගේ මොකාද එකාගේ එහෙන් මෙහෙන් ආව කියල බොරු නෑනෙ.

    ReplyDelete
  13. ඔය පොර ටෝක් දෙන තොපි ඔක්කොම අපි ට බයියො කියලා සමාජ ජාලා පීඩනේ දෙන එක ගැන ලැජ්ජා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අන්න කතා....!කෝ උත්තර?

      Delete
  14. රොටියෝ. අනේ බං අපි තවමත් අර ඉන්දියාවෙන් ලැබිච්ච සමහර ගෝත්‍රික ලක්ෂණ බදාගෙන ඉන්නවා. දැන් උඹට ප්‍රශ්ණේ ඔය වාසගමට අදාල රස්සාවනෙ. මගෙ නමේ ඔය නමට මුලින් එන කෑල්ල බමුණු ආරච්චිගේ. ඔය නම හන්දා මම විතරක් නෙවෙයි මගෙ සහෝදර සහෝදරියනුත් පුදුම පීඩාවක් වින්දා ඉස්කෝලෙ යන කාලෙ. මට ඔය නම් කෑල්ල හලාගන්න තිබුනානම් ඊට වඩා දෙයක් නෑ මොකද එකට ඉගෙනගත්ත වේසිගෙපුතාලා බමුණා බමුණා කියන්න ගත්ත හන්දා.

    ඒ විතරක් නම් මදෑ බං. ගොං කමට ඕක මගෙ ළමයින්ටත් දැම්මා. වෙන රටවල ඔය නමට මුලිනුයි අගිනුයි දෙකෙන්ම වාසගම් නෑනෙ. ඉතිං මෙහෙ ඉන්න සමහර කාලකන්නි ගුරුවරු පවා කොච්චර කිව්වත් මගෙ කොල්ලට කතා කරන්නෙ බමුණූ කියලා. බැංකුවට ගියත් මට කියන්නෙ මිස්ට බමුණු කියලා. නොදෝකිං.

    ReplyDelete
    Replies
    1. අනේ ඩූඩ්! වෙච්ච දෙයක්!

      Delete
    2. ලංකාවේ ගොඩක් මිනිස්සු අනිත් අයගේ නම් කියන්නේ වැරදි විදියට. වාසගම විතරක් නෙවෙයි. මුල් නම් පවා මොඩිෆයි කරනවා.(සේපාල් -> සේපාල, වජ්ර -> වජිර, හසංග -> අසංක)
      ඔය විදියට තමුන් අකමැති නමක් කියන්න ගත්තාම හොම්බට හැටක් අනින්න නම් මටත් හිතිලා තියෙනවා

      Delete
    3. ඇයි බං ශ්‍රංග? සුරංගයට. :D

      Delete
  15. මටත් ඔය ශෝචනීය අත්දැකීමට මුහුණ දෙන්න වුණා ඕ ලෙවල් කාලෙ අයිඩෙන්ටි හදන්න ගියාම.. මටත් උප්පැන්නෙ විදියට "අරයලාගේ" කෑල්ලක් නැහැ. ඒ උනාට අයිඩෙන්ටියට දාන්න වුණා.

    අපේ කැම්පස් එකෙත් හිටියා "මම නුවර" එකෙක්. ෆස්ට් ඉයර් කාලෙ අපි ඉතින් පොර ව වැඩිපුර දන්නෙ නෑ නේ.. සර් කෙනෙක් එවිත් කිව්වා අපේ ෆැකල්ටිය පේරාදෙණියෙ වුණාට ඒකට න නුවර අය අඩුයි කියලා එයා අවුරුදු ගාණක් තිස්සෙ දැක්කලු. ඉතින් අපේ බැච් එකේ නුවර අය ඉන්නවනම් අත උස්සන්න කිව්වා. මෙයා ටක් ගාලා අත ඉස්සුවා.
    සර් ඇහුවා "නුවර කොහෙද?"

    "කුරුණෑගල"

    එදා ඉදන් තමයි අපි දැනගත්තෙ කුරුණෑගල තියෙන්නෙ නුවර කියලා..

    ReplyDelete
    Replies
    1. හුටා! කුරුණෑගල තියෙන්නෙ නුවර නේ?

      Delete
    2. මාත් ඒක අදමයි ඇහුවේ! කුරුණෑගල , නුවර... හරියට මරදාන කොළඹ වගේ රයිම් වෙනවා කියල හිතෙන්නේ නැද්ද?

      Delete
  16. //...තම තමුන් , තම තමුන්ගේ කුලය උසස් යයි හිතාගෙන කරගසා උන්නාට කමක් නැත. ප්‍රශ්නය වන්නේ අනුන්ගේ ඒවාට හොස්ස පොවන්නට යෑමය. කුලය ඉදිරියට දමා අනුන්ව පහත් කිරීමට තැත් කිරීමය....//
    "බලේ දැක මුදලේ
    කුලේ රිංගා ගියයි අකුලේ "
    ඊට කලිං පද දෙකක් තිබුනද කියල මතක නෑ. හැබැයි මේ කුල කතාව නං මාර ලෙඩක් තමයි. ඒක නැතිවීමට නම් අපේ මොල හොඳට පිරිසිදු වෙන්න ඕන. 'චරියාවෙන් මිස හත් මුතු පරම්පරාවෙන් එන කුලයෙන් ශ්‍රේෂ්ට වෙන්න බෑ කියල උගන්නපු, පිඩු සිඟා යනකොට මගේ රාජ වංශයට නින්දා කරන්නෙ ඇයි කියපු තාත්තගෙ මූණටම ඒක ඔබේ වංශය වෙන්න ඇති, මගේ වංශය බුද්ධ වංශය කිවුවයි කියන උතුම අදහනවයි කියාගන්නා වූ අය %70ක් ඉන්නවයි කියන රටක මේ මල මගුල් තවමත් තියෙන එක ගැනනං බෞද්ධෙයි කියන අපි කවුරුත් ලැජ්ජ වෙන්න ඕන.
    සරසවි පෙම් පලහිලවු ස්ථිර වෙලා කසාද බැඳීම, , සහ ලංකාවට මාක්ස් වාදය හඳුන්වා දීම ඇතුළු කොට ඇති තවත් කරුණු ගණනාවක් නිසා දැනට මෙය පවත්වා ගැනීම අසීරුයි. ඒඅකෙන් කියන්නෙ දැන් ටික ටික කුලය කියන එක දත්,නිය, සහ ලොං හැලෙමින් මහලු මුරුගයෙක් වෙමින් දඩයම් බැරුව ටික ටික මියැදෙන පැත්තට කිට්‍ටු කරමින් ඉන්න බවයි. . ලංකා සමාජය නම් වූ මහමුහුදේ ලුණු පොල් කට්ටක් වූ පැවිදි සමාජයෙත් එය පවත්තා ගැනීම අසීරු වී ඇතිබව ජාතිය, හෝ කුලය මත මිනිස් අවශ්යතා ගැන තීන්දු තීරණ නොගන්නා අපේ හිතවත් හිමිවරුන් පවසන්නේ කුලය තව දුරටත් පැවිදි සමාජයෙන් ද නඩත්තු කර ගැනීම අපහසු වීම නිසා එය දිරාපත්වෙමින් තියන බවයි.

    //...රොටියාගේ සම්පුර්ණ නම ලෙස තිබුනේ අම්මා විසින් දමා තිබූ නම් දෙකකුත් අගට තාත්තාගේ නමත්ය. පොඩි පන්ති වල පොඩි එව්වන් වාසගම ගැන කතා වෙද්දී රොටියාට සිය වාසගම වුයේ තාත්තාගේ නමය. ...//
    වාසගම ගැන කතාවේ වැදගත් හෝඩුවාවක් අපට තියෙනවා. දෙමළ සමාජයේ මගේ හිතවතුන්ට අනුව එහි පියාගේ නම විනා ඔහුගේ වාසගම දරුවන්ට එන්නේ නැත (උදා: සුන්දරම් පිල්ලෙයි මනෝහරන් ගේ දරුවා මනෝහරන් මුරුගේසු මිස සුන්දරම්පිල්ලෙයි මුරුගේසු නොවීම). නුවර කලාවියේ ඈත ගමකින් පැවිදි වූ මගේ සොහොයුරු හිමි නමකට අනුව ඒ පැත්තෙත් මේ විදියටම පියාගේ නම මිස වෙන නමක් දරුවාට වාසගම ලෙස නොදමන බවයි පේන්නෙ (උදා: නංහාමිගේ නම්බිරාලට උපන් පුතණුවන් නම්බිරාලගේ සුමනදාස). මේකෙන් කියන්නෙ සිංහල සමාජයටත් මේ සම්ප්‍රදාය ඇවිත් තියෙනව ඉතිහාසය පුරා සිදුව ඇති විවිධ සමාජ දේශපාලනික පරිණාමතා මත.
    කුලය මුගුරක් ලෙස ගෙන කුඩාදරුවන්, දුබලයන්, අහිංසකයන් පීඩාවට පත් කිරීම ආනන්තරිය පාපයක් ලෙස ප්‍රකාශයට පත්කරානං නියමයි.
    කුලයට වඩා මුදල් සහ දේශපාලන බලය ආකර්ෂණීය වීම නිසා කුලය නඩත්තු කර ගැනීම අසීරුයි. හැබැයි එයින් වෙලා තියෙන්නෙ ඉඟුරු දීල මිරිස්ගත්ත වගේ වැඩක් තමා.

    මේ විකාර තවම පවතින බවට තියෙන සාක්කි අතර දෙකක් තුනක්:
    1. පත්තරවල එන විවාහ දැන්වීම් වල කුලය සඳහන් කිරීමේ (කුලය නො සැලකේ කියන ප්‍රකාශයත් ඇතුළුව) ප්‍රතිශතය අඩු වෙමින් පැවතුනත් අපේ සමාජයේ එය තවමත් බලපවත්වන බව (මං කාලෙකින් කඩදහිවල මුද්‍රිත පත්තරයක් කියවා නැති නිසා මං වැරදිනං නිවැරදි කරන්න. )
    2. මනාප ක්‍රමය නිසා ඡන්ද කාලෙට අපේක්ෂකයන් තම වාසගම සහිත පෝස්ටර් අලවමින් දිස්ත්‍රික්කය පුරා තැන් තැන් වල තමන් අයත් යැයි කියා ගන්නා කුලයට අයත්යැයි සැලකෙන අහිංසකයන් රවටා ඡන්ද 'පික් පොකට්' ගැහීම.

    තපෝවනයේ සුතධර හිමි

    ReplyDelete
    Replies
    1. කුලය පාදක කරගෙන ඇති බෙදීම් පැවිදි සමාජයේ තියෙන බව මාත් අසා තිබුණා.
      වටිනා කරුණු දැක්වීමක්. ඔබ වහන්සේට ඉස්තුතියි

      Delete
  17. රොටියා මේ ගැන කතා කිරීම හොඳයි.කුලය ඇද ගැනීම නරකය කියමින් තමන් ඉතා හොඳ, ප්‍රගතිශීලී අය බව පෙන්වීමට උත්සාහ කිරීම මා සමාජයේ බහුලව දුටු දෙයක්.එසේ වුවත් තමන් උසස් කුලයක කෙනෙකු යැයි කෙසේ හෝ කියා ගැනීමටත් සමත් වෙනවා.විවාහ වීමේදීත්, සමාජයේ තමන්ගේ විශ්වාසවන්තයින් සොය ගැනීමේදීත් ඔවුන් කුලය සලකනවාමයි.
    මෙය බොහෝ විට කරන්නේ ගොවිගම කුලයට අයත් අයයි.අද රටේ උසස් කුලය ගොවිගම කුලය සේ පිළිගත්තත් එය එසේ නොවන බව මගේ මිතුරෙක් මට කීවා. ඔහුට සිදුවීමක් අලලා තමයි එය කීවේ.

    විකිපීඩියා හි ඔහු ඔහුගේ කුලය - එය දේව කුලය බව ඔහු කීවා- සඳහන් වන්නේ උඩරට වැදගත්ම කුලය ලෙස. පසු කාලීනව ගොවි අය විසින් ඔවුන් කඳු වලට පන්නා ගත් අයුරු එහි දැක්වෙන බව ඔහු කීවා. එහෙත් ඔහුට හකුරා කියා කෙනෙක් අපහාස කල බව ඔහු කීවා.

    තමාට කියා ආඩම්බර වීමට කිසිවක් නැති අය තමයි මෙසේ කුලය මතු කරමින් තමා උසස් අය සේ පෙනී ඉන්න හදන්නේ.මා නම් විවාහ වුනෙත් කුලෙන් පිට. අපි හොඳින් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. තමුන්ට කබල් ගාන්නට කිසිම දෙයක් නැති තැන , බොහෝ දෙනෙක් කුලය අල්ලා ගන්නවා

      Delete