Sunday, February 2, 2014

එකෝමත් එක දවසක - 08

මා කොපමණ බලාපොරොත්තු තියන් උන්නද මගේ දිවයාන්ගනාව එදා පන්ති ආවේ නැත. මට පිස්සු නැතහොත් පිස්සුවට කිට්ටු යමක් හැදුනා මෙන් විය. මා දෑස් රිදෙන තුරු බලා සිටියද හවස පන්තියට ද ඈ පැමිණියේද නැත.
ඊළඟ සතියේ අප පාසලෙන් විනෝද චාරිකාවක් යාමට සුදානම් වී සිටි අතර ඒ වැඩ අස්සේ මම කාර්යබහුල වූ නිසා මට ඈ ගැන හිත හිතා ඉන්නට එපමණ කාලයක් ලැබුනේ නැත.


නොදැනීම සතියක් ගෙවුණු අතර අප පන්තියේ කොල්ලන් සියලු දෙනාගේම ප්‍රධාන මාර්තෘකාව වුයේ විනෝද චාරිකාව හා බැඳුනු සිද්ධීන් මිස කෙල්ලන් නොවේ. මට ඈ ගැන ඇත්තටම මතක් වුයේ ඊළඟ සෙනසුරාදා උදේ දත් මදින අතරේය. අද ඈ එයිදෝ නොඑයිදෝ සැකය මගේ සිත තුල හොල්මන් කලත් මම එකල මා සතුව තිබූ කමිස තුනෙන් ඉස්තරම්ම කමිසයෙන් සැරසුනෙමි


මම එදා කුමක් හෝ හේතුවක් නිසා කලින් පන්තියට ගියෙමි. මා යන විට මා මිතුරු රැලෙන් එකෙක්වත් පැමිණ සිටියේ නැත. මට තට්ට තනියම බංකුව අල්ලාගෙන සිටීමට (බංකු අල්ලා ගැනීම කුමක්දැයි අමුතුවෙන් කියන්න දෙයක් නැත) වැඩේ සිද්ද කරමින් තාම නොපැමිණි ලපයාට හිතෙන් ඉස්තුති කතා පවත්වමින් සිටින අතරේ පිටුපසින් කව්දෝ ගෑණු ළමයෙක්
“ආ ගුඩ් මෝනිං” කියනවා ඇසුනි


මටද කියා හරියටම නොදන්නා නමුත් මම හැරී බැලුවෙමි


මෙන්න මගේ සිහින කුමාරි මා ලඟම හිනැහෙමින්..


උනේ මොකද්දැයි සිහි එලවා ගත නොහැකි වූ මුත් මමත් ඈට පෙරලා සුබ පැතීමි.


“එදා ගන්න පුළුවන් උනාද අර පොත?”


(මොන පොතද?) “ නෑනේ, පොත තිබ්බේ නෑ”


“හයියෝ.. අපරාදෙනේ දිව්වේ”

“දිව්වේ නැත්තන් වහනවා. මම ගිහින් විනාඩි දෙකෙන් ඇතුලට ගන්න එක නැවැත්තුවා”


“ගෙදර යද්දිත් බස් එකෙන් පැන්නද?” ඈ යටසින් බලා සිනාවකින් තොරව ඇසුවාය. 


සත්තකින්ම මාව හිරිවැටි ගියේය. ගෑණු ළමයි යටැසින් බලන්නේ ඇයි?
මොනවා කියන්නද කොහොම කියන්නද සිතාගත නොහැකිව මගේ කට වැසී තිබුණි. නිහඩතාවය බින්දේ ඈමය.


“බලාගෙන යන්න පරිස්සමට. වැටුනන් එහෙම එදා. බස් වලින් පනින්න ඕනේ නෑනේ. බෙල් එක ගහල බැස්සාම හරිනේ”


නැත. බෙල් එක ගසා බැස්සාම හරි නැත. එදා බෙල් එක ගසා බැස්සා නම් මේ කතාව මෙච්චර දිගට යන්නේ නැත.
මගේ කටට ආවේ “මං වැටුනන් ඔයා මොකද කරන්නේ කියාය”. එවදන් කටින් පිට නොකර මම හිස කසා පොඩි පහේ මෝඩ හිනාවක් දැම්මෙමි.
ඈ මං ගැන හිතා තිබෙන පාටය. තමුන්ගේ ලඟින් ඉන්න මිතුරෙකු ගැන වගේ ඈ මං ගැන කතා කිරීම ගැන මට ඇතිවුයේ පොඩි පහේ සන්තෝසයක් හෙම නෙවේය. ඈ මට කැමතිද මන්දා?


යාළුවො කියන්නේ එපා වෙලාවට බුරුතු පිටින් ඉන්නා ජාතියක් බව මට තවත් වරක් තේරුම් ගියේ එක්වරම අප සිටි තැනට කඩා වැදුණු ලපයා,ඇටකටුස්, බකයා සහ පුසා දුටු විටය. 


“අඩෝ ගුඩ් මෝර්නින් වේවා. තොගේ කෑල්ල අදවත් ඉන්නවද?”


මට ඇතිවුයේ ලපයාව මරන්නට තරන් වූ කේන්තියකි. මේ බුරුවාට කතා කරන විට වටපිට බලා කතා කරන්න බැරි ඇයි මල හත්තිලව්වේ?


විය යුතු පරිදිම ඊ ලඟට කට ඇරියේ බකයාය.
“මුගේ තියෙන්නේ මචං හෝමෝන අවුලක්. ඒකිව දැක්කාම..”


මගේ වෙලාව හොඳ කම නිසා හෝ, දෙයියන් මගේ මුණ බැලූ නිසා හෝ වෙන කුමක් හෝ කරුණක් නිසා මගේ කුමාරිකාව හින් හඩින් තම කටහඬ අවදි කළාය


“එහෙනම් මම ගිහින් එන්නම්. මගේ යාළුවා දැන් එයි”


අර රිලව් රැලම එක පාරට නිහඬ වී හඬ ආ දෙසට ඔළු ගෙඩි යොමු කළෝය

.
“හා හා. හවසට බස් එකේ හම්බවෙයි නේ සමහර වෙලාවට” මගේ මනමාල හිනාව..


ඈ ගොස් තත්පර දෙක තුනක්ම අප අතර පැවතියේ දරුණු නිහඬතාවයකි.


අන්තිමේ දී මුලින්ම කතා කළේ ස්වබාවයෙන්ම නිහඬ පුසාය.
“අන්තිමේ මූ කෙහෙල් ගහට කෙටුව එහෙනං ඈ..”


ලපයා “හොඳයි පුතෝ ඔහොම යන්කෝ..”


ඇටයා “මුට ගිය කල”


බකයා “ යකෝ උඹ මොන සිරප් එකද ගැහුවේ”


මා සමග ඈ කතා කරමින් සිටියේ සහෝදර ප්‍රේමයෙන් බවත්, උන් හිතන තරන් දෙයක් එතන සිද්ද උනේ නැති බවත් එදා මම උන්ට සරලව තේරුම් කලද උන් එකතුවී මගෙන් අයිස් ක්‍රීම් පාටියක් බලෙන්ම ලබා ගත්තෝය



No comments:

Post a Comment