Tuesday, October 21, 2014

අනන්තය සොයා..

"ඔතනින් පැනල වැඩක් නෑ.පනිනනවා නම් තව ටිකක් එහාට ගිහින් පනින්න"
පිටිපස්සෙන් ඇහුනු ගෑණු කටහඩකින් මම ආයෙමත් හැරිලා බැලුව. සුදු පාට දිග සායක් ඇඳලා, සුදු පාට ටීෂර්ට් එකකුත් ඇඳන්, කොන්ඩෙත් කඩාගත්තු කෙල්ලෙක් ඉන්නව මං දිහා බලාගෙන. මුණේ හිනාවක්වත් නැතුව

මද්දහන නොවුනනන්, බම්බලපිටිය නොවුනනන් සහතිකෙන්ම මං බයවෙනවා මේකී හොල්මනක් කියල. ඒත් හැබෑවටම හොල්මනක් ආව උනත් ගණන් ගන්න මානසික මට්ටමක නෙවෙයි මම ඒ වෙලාවේ හිටියේ.

ඈව තඹේකට මායිම් නොකර මම ආයෙමත් මුද දිහාවට හැරුන. මගේ කකුල් වලට අඩි ගානක් යටින් ගල්පරේ හැප්පෙන මූදු රැල්ල දිහා බලාගෙන මොහොතක් උන්නේ හිත එකඟ කරගෙන තත්පර ගාණකට කලින් හදිස්සියේ බිඳිලා ගිය ධයිර්යය හිතට එකතු කරගන්නයි

"මං ඇත්තමයි කියන්නේ, ඔතෙනට පැන්නොත් ඔහෙට වෙන්නේ ඇටකටු පොඩි කරගෙන මාස ගානක් ඉස්පිරිතාලේ ලගින්න. එහෙම නැත්තන් ඇට කුඩුවෙලා , වතුර පොඩ්ඩ පොඩ්ඩ පෙවී පෙවී පැය ගානක් දුක් විඳලා මැරෙන්න. කැමති එකක් කරගන්න"

මං ආපහු හැරුනේ නිදහසේ මැරෙන්නවත් දෙන්නේ නැති මේ චිංචි මානවිකාවට හොඳ දෙකක් කියල දාන්නයි. ඒත් අන්න ඈ ඇවිදන් යනවා. මාව මෙතන තනියම දාල..

මගේ යටිහිත බලාපොරොත්තු උනේ මං පනින කන්ම ඈ මෙතන ඉඳී කියල වෙන්න ඇති. අඩුම ගානේ මිනිය හොයන මිනිස්සුන්ට ඔත්තුවක් වත් දෙන්න. නැත්තන් මං පැනපු ගමන් "අයියෝ මෙන්න මෙතෙන්ට එක්කෙනෙක් පැන්නෝ" කියල බෙරිහන් දෙන්න..

එතකොට මිනිස්සු දුවගෙන එයි.. පීනන්න දන්න අය වතුරට පනියි. මාව ගොඩගනියි..
අනේ ඒවෙනකොට මට වතුර පෙවිල. ඔලුව පැත්තකට වැටිලා..

"අයියෝ ෂෝක් කොල්ලෙක් වතුරට පැනල" ආරංචිය විදුලි වේගෙන් රටපුරා යයි.

මෙච්චර කාලයක් මාව සතේකට ගණන් නොගත්ත අපේ ගෙදර කට්ටිය අඬාගෙන දුවගෙන එයි.." අයියෝ මගේ පුතා...."

මාව දන්න කියන හැමෝම දුක්වෙයි. "කොච්චර හොඳ ළමයෙක්ද...."

එතකොට නයෝමි..

එයා පිස්සුවෙන් වගේ ඉස්පිරිතාලේ දුවන් එයිද.. නැත්තන් මුකුත් උනේ නැති විදියට එරංග ත් එක්ක ඉඳියිද..

මොනවා උනත් එයා ජිවිත කාලෙම පසු තැවෙයි.. එරංග ගේ හැටි තේරුම් යද්දී එයාට මාව මතක් වෙයි

මම දවස් දෙකහමාරක් තිස්සේ හිත හිත උන්නු මගේ මළගම ගැන ආයෙම පාරක් හිතන්න පටන් ගනිද්දිම හෙන ගහන්නා වගේ කෝච්චියක් ගියා මං ලඟින්ම.

මැරෙන්න හිත හදන් උන්නු මගේ හිත, අමාරුවෙන් මැරෙන්න බෑ කියල අඬපු නිසා මං නැගල උන්නු ගලෙන් බැහැල අර කෙල්ල පස්සේ දිව්වා

එතකොටත් එයා සෑහෙන දුර ගිහින්

"මේ මේ" මං අත්පුඩියක් ගහල කෑ ගැහුව

"මටද කතා කළේ " ඈ ආපහු හැරිලා ඇහුව.

"ඔහ් එයා ලස්සනයි" මං මටම කියා ගත්තා

"කොහෙටද පනින්න හොඳ.." මං ආයෙමත් කෑ ගහල ඇහුවා

"එන්න මං පෙන්නන්" ඈ දඟකාර හිනාවක් පෑවා

"තව දුරද.."

"නැහ් මේ ළඟ..ඉතින් ඇයි ඔයා ජිවිතේ නැති කරගන්න හදන්නේ.."

"ඔයාගේ පවුලේ ඔක්කොම සුනාමියට ගිහින්, දැන් ඉන්න කට්ටිය ඔයාට වෙනස්කම් කරනවද?"

"ඔයාට සනීප කරන්න බැරි දරුණු ලෙඩක් තියෙනවා කියල ඊයේ දැනගත්තද.."

"ඔයාගේ පිරිමි කමේ ප්‍රශ්නයක්ද.."

"හරි හරි රවන්න එපා.. එහෙනං ඔයා ඉගෙන ගන්න ගොඩක් ආස ඒත් ඉගෙන ගන්න සල්ලි නැති දුප්පත් ළමයෙක්ද..කාත් කවුරුත් නැති"

"හරි මං දන්නවා. ඔයාගේ අම්ම හදිස්සියේ කියන්න ඇති ඔයාගේ තාත්තා මේ තාත්ත නෙවෙයි. වෙන කෙනෙක් කියල"

මේකිගේ කට ගලේ උලන්න ඇත්තන් කියල හිතාගෙන මං ඉද්ද ගැහුව වගේ නැවතුනා

එයත් නැවතුනා. නැවතිලා ගිනි පිටවෙන මගේ ඇස් දිහා බැලුව හරිම සැහැල්ලුවෙන්

"කෙල්ලෙක්.. හරියට හරි කෙල්ලෙක්"

මං ඔලුව පාත් කරගත්ත. "ඔයා හරි මෝඩයි කෙල්ලෙක් හින්ද ජිවිතේ නැති කරගන්න" කියන සාම්ප්‍රදායික වාක්‍ය එයාගේ කටින් පිටවන තුරු ඊළඟට මං බලන් හිටියා

"හරියට හරි. මැරෙන්නම තමා ඕනේ ඒ කෙල්ලට පාඩමක් උගන්නන්න" ඈ ආයෙත් ඉස්සරහට යන්න පටන් ගත්තා.මාත් නොදැනීම ඈ පස්සෙන් වැටුනා

"ඔයා වීරයෙක්.. ඔයාගේ ඔය තීරණේ ගැන මට හරිම සන්තෝසයි. කොච්චර තද හිතක් තියෙන්න ඕනිද තමුන් එක්ක ජිවිත කාලෙම උන්නු අයව දාල මැරෙන්න, ජීවිතේට මේ ලඟදි ආපු කෙනෙක් නිසා..."

ඈ ටිකක් වෙලා නිහඬව හිටියා. වැස්සක් පෑව්වා වගේ සැහැල්ලුවක් මගේ හිතට දැනුනා

ඊළඟට ඈ කතා කරන්න පටන් ගත්තේ තමුන්ටමයි

"අනේ හැබෑට.. අවුරුදු ගානක් ලොකු මහත් කරපු අම්ම තාත්තා ගැන අමතක කරනවා කියන්නේ කොච්චර නිර්බිත කමක්ද.. මලාට පස්සේ අපිට බනින එවුන් ඔක්කොම අමතක කරලා.. අපේ අක්කල නංගිලා අයියල මල්ලිලා ඊළඟට ලෝකෙට මුණ දෙන හැටි අමතක කරලා මැරෙනවා කියන්නේ ඉතින් මාරම දෙයක් තමා

හ්ම්ම්.. මේ දෙයියොත් කරන වැඩ. කීදෙනෙක් මැරෙන මොහොතේ ජිවිතේ බේරගන්න සටන් කරනවද.. එහෙම ඈයෝ ගෙනල්ල මෙහෙම මැරෙන අයව පෙන්නන්න තියෙන්නේ "
"ඔය මොටරේ වහනවද.." මං කිව්වේ බැරිම තැනයි

ඈ දඟකාර විදියට ඔලුව හෙලෙව්වා "ඔයා ගැන මට පුදුම ගෞරවයක් දැනුනු නිසා මං දන්නා දෙයක් කියල දෙන්නන්. මැරෙන විදි වලින් අමාරුම විදියක්ලු ඔය වතුරට පැනල හුස්ම හිරවෙලා මැරෙනවා කියන්නේ.. පෙනහළු පුපුරනකොට ලු වැඩිම වේදනාව දැනෙන්නේ"

ඒ වෙනකොට මගේ විරකමෙන් බාගයක් හිඳිලා තිබුන නිසා මට ඒ කතාව ගැන ලොකු උනන්දුවක් දැනුනා

"කවුද ඔයාට කිව්වේ.."

"මට කිව්වේ එහෙම මැරුණු අය.." ඈ හිනා උනාට ඒ ඇස් යට තිබ්බේ දුකක්.. "මගේ අයිය මැරුණේ වතුරේ ගිලිලා.. ඒ දවස් වල මම වතුර පෙවිල මැරෙන එක ගැන ගොඩක් තොරතුරු හෙව්වා. මට අයිය විඳපු වේදනාව විදින්න ඕනේ වුනු නිසා වතුර බේසමේ ඔලුව ඔබාගෙන ඉන්න හදලත් තියෙනවා.."

මට ඈ ගැන දුකක් දැනුනේ මගේ නංගිවත් මතක් වුනු නිසා

"මම නම් කියන්නේ ඊට වඩා ලේසි විදියක් හොයා ගන්න කියල.."

"බෙල්ලේ වැලක් දාගත්තොත්.."

"පිස්සුද.. මාර දුකක් ලු විදින්නේ.. දිව එලියට එනවලු. ඇස් එලියට එනවලු"

මගේ පිට කොන්ද දිගේ විදුලියක් යනවා වගේ දැනුන.

"කෝච්චියට පැන්නොත්.."

"කුඩු වෙනවා.. චප්ප වෙනවා.. එක පාර නොමැරෙන්නත් පුළුවන්"

මට හදිස්සියේම ඈ ගැන හිතවත් කමක් දැනුන.

"මං ගෙදර ගිහින් කල්පනා කරලා බලල, නෙට් එකෙත් බලල හොඳ විදියක් හොයා ගන්නන්" ඒ වෙද්දී මරණ බියක් ඇත්තටම දැනිල තිබුණා මම කිව්ව

"ඒත්.. ඔයා ආවේ මැරෙන්නනේ" ඇගේ මුණේ තිබ්බේ බලාපොරොත්තු කඩවුණු ලකුණු

මට තරහක් දැනුනා. මේ ගෑනි මං මැරෙනකන් බලන් ඉන්නවද..

"හරි හරි.. ඕකට තරහ ගන්න එපා. ඔයා විදියක් හොයාගෙන මටත් කියන්නකෝ. මගේ නම්බර් එක ඔයාට දෙන්නං"

"ඇයි මොකද ඔච්චර මැරෙන එක ගැන උනන්දු.. මැරෙන්නවත් හිතිලද ඔහෙටත්.."

"නෑ ජීවත්වෙන්න හිතිලා.."ඈ හිකි හිකි ගෑවා. ඊළඟට ඈ ඇගේ දුරකථන අංකය කියාගෙන ගියා.

"මං යනවා බායි.." ඈ ඊළඟට පාර හරහා පැනල දුවගෙන ගියේ ත්‍රිරෝද රථ නැවතුම දිහාවට

මං කට කොනකින් හිනා වෙවිම ඇගේ අංකය මගේ ජන්ගමයට ඔබාගත්තා

පැයකට පස්සේ මම උන්නේ මගේ කාමරේ. අම්මා තේකක් හදල ඇවිත් මගේ ලඟට දුන්න. පැයකට කලින් මං මලා නම් අම්මා ඉන්නේ මොන ගින්දරකින්ද කියල හිතුනු මගේ ඇස් වලට කඳුළු ආව.

"මොකෝ උණද" අම්ම මගේ නළලට අත තියල බැලුව. මං අම්මගේ අත අරන් කම්මුලට තියා ගත්ත

"නාකි හුරතලේ.. කකා බිබී ඉන්නේ නැතිව නරකද පලක් ප්‍රයෝජනයක් ඇති දෙයක් කලොත්" අම්ම එක්දහස් එකසිය එක් වෙනි පාරටත් අහල යන්න ගියා. අම්ම එහෙම කියන්නේ මං ගැන ඇත්තටම ආදරේට කියල ජිවිතේ පලවෙනි පාරට මට තේරුණා

මං තවදුරටත් කෙල්ලෙක් හින්ද මැරෙන්න යන මෝඩ කොල්ල නෙවීය කියන්න මං ඈට ඇමතුමක් ගන්න හිතුවේ රෑ. කතා කළා මිසක් නමක් ගමක් වත් අහගත්තු එකක් යෑ

"හෙලෝ.." හරි ඒ නම් ඇගේම කටහඬ තමා

"මම මේ කතා කරන්නේ අද බම්බලපිටියේදී හම්බවුනු කෙනා"

ඈ මොහොතක් නිහඬ උනා. ඊළඟට අර දඟකාර කටහඬින්ම "මොකද කරගත්තේ " කියල ඇහුවා

"මං නොමැරෙන්න තීරණය කළා" මං ඈට ඉස්තුති කළේ ඈ නැත්නම් මේ වෙලාව වන විට අපේ ගෙදර මලගෙයක් වෙන්න තිබුණු බව මම දැනන් උන්නු නිසයි

"කතා කලාට මං ඔයාගේ නමවත් දන්නේ නෑනේ"

"මං දිව්‍ය.." ඈ කිව්වේ මොහොතක නිහඬතාවයකින් පසුවයි

සති මාස වලට පෙරලිලා අවුරුදු තුනක් ගෙවුනත් මට දිව්‍යාව නැවත මුණගැහෙන්න බැරි උනා. ඒත් ඒ වෙද්දී මං ඈට ටෙලිපෝන් කෝල්ස් සිය ගානක් අරගෙන පැය දාස් ගානක් කතා කරලා තිබුණා. ඒ පැය දාස් ගාන ඈ ගැන කියා ගන්න බැරි තරන් ආදරයක් මගේ හිතට අරගෙන ආව

අන්තිමට මම ඈව මුණගැහෙන්න තීරණය කළා. ඒ වෙද්දී මම යම් ස්ථාවර තත්වයක , මගේම වාහනයක් එහෙම අරන් උන්නු නිසා

මුලින් ඈ මාව මුණගැහෙන්න කැමති උණේම නෑ. ඒත් සති තුනක් තිස්සේ නොනවත්වාම කරපු ඉල්ලීම් වල ප්‍රතිපලයක් විදියට ඈ මට ගෙදරට එන පාර කිව්වා

රතු රෝස මල් පොකුරකුත් අර ගත්තු මම , මගේ දුප්පත් වාහනේ මහා විසාල ගේට්ටුවක් ළඟ නතර කළා

ගෙදරටම නාකි උනු පෙනුමක් තිබුණු මනුස්සයෙක් ඇවිදින් ගේට්ටුව ඇරිය. මහා විසාල නොවුනත් සුඛෝපබෝගී පෙනුමක් තිබුණු ගේ දොරකොඩ පුටුවක වාඩි වෙලා මගේ කුමාරිකාවී හිටියා

පුටුවක් නෙවි.. ඒක රෝද පුටුවක්

මම දුක පුදුමය ඔක්කොම හංගගෙන මල් කළඹ ඇගේ අතට දීල සුබ පැතුවා.

ඒ ගෙයි සාලේ තමා මෙච්චර කාලෙකට මම දැකපු ලස්සනම සාලේ. පවුලේ ඔක්කොම හිනා වේගෙන පින්තුර වල එල්ලිලා හිටියා. ඒ පින්තුර වල ජිවය උතුරනවා. දිව්‍යල දෙන්නෙක්ම ඉන්නවා පින්තුර වල. රෝද පුටු දිව්‍ය නෑ

"ඔයාට කියන්න ලොකුම ලොකු කතන්දරයක් තියෙනවා. මේක ඔයා කොහොම පිළිගනිද දන්නේ නෑ. මං දන්නවා ඔයාට මාව ලොකු ප්‍රෙහෙලිකාවක් කියල.."

ගෑණු ළමයෙක් පේර බිම එකක් ගෙනැල්ල මට දුන්න. මම කතාවක් නැතුව ඒක අතට ගත්ත

අපි බොහොම සංතෝසෙන් උන්නා. අපේ පවුලේ ඔක්කොම හය දෙනෙක්. අයියල දෙන්නයි. මායි දිව්‍යයි අම්මයි තාත්තයි.

"එතකොට..."

"මං බාග්‍ය.."

"ඔව් මං බාග්‍යා. මගේ නංගි දිව්‍යා. සුනාමිය එද්දී අපි ඔක්කොම හිටියේ යාල. රැල්ලට අහු වුනු මාවයි නංගිවයි බේර ගන්න ගිහින් අයියල දෙන්න ගහගෙන ගියා. අම්මටයි තාත්තටයි උනු දෙයක් අද වෙන තුරු දන්නේ නෑ. පලවෙනි රැල්ලෙන් කොහොම හරි අපි දෙන්න බේරුනත් මගේ කකුල් සෆාරි ජීප් එකට යටවෙලා තිබ්බ. දුවල බේරෙන්න පුළුවන්කම තිබුණු නංගි මාව බේර ගන්න මොකක් හරි හොය හොය ඇවිදින අතරේ දෙවෙනි රැල්ලත් ආව. එයා රැල්ලට අහුවුනේ මගේ ඇස් ඉස්සරහ දීමයි..

එයත් ගියා. මොකද්දෝ කරුමෙකට කකුල් දෙකම නැතුව මාව ඉතුරු උනා.."

මම ගල්ගැහිලා අහගෙන හිටියා. එහෙම නම් සුනාමි ඇවිත් අවුරුදු හතරකට පස්සේ මට මුණගැහුනේ කකුල් දෙකම නැති බාග්‍යද..

"ඔව්, මං දන්නවා ඔය හිතන දේ ගැන. එදා ඔයාට මුණ ගැහුනේ මගේ නංගිව. අපේ පවුලේ හැමෝම ඔය විදියට කරදරේ වැටෙන්න යන අයව නිතරම බේර ගන්න නිසා මට ඒක එච්චරම පුදුම හිතෙන දෙයක් නෙවෙයි. ඔයා මට ඒ විදියට කතා කරපු පලවෙනියත් නෙවෙයි. අන්තිමයත් නෙවෙයි. හැබැයි මේ කතාව ඉවරවෙනකන්ම කතා කරපු එකම එක්කෙනා ඔයා විතරයි"

බාග්‍යා එයාගේ පවුලේ ඇය ගැන කතා කළේ ජිවත් වෙලා ඉන්න අය ගැන කියනවා වගේ. එයාගේ පවුලේ කට්ටිය එහෙම උදව් කරපු කතා දෙක තුනකුත් මට කිව්ව. නොකිව්ව කතා බොහෝමයක් තියෙනවා කියලත් මට තේරුණා. පුදුමයකට වගේ මට බයක් නම් දැනුනේ නෑ

"මට සමාවෙන්න.. මං අවුරුදු තුනක් තිස්සේ දිව්‍ය වගේ ඔයාට කතා කලාට. කතා කරන එක නවත්තනවා කියල කොච්චර හිත හදා ගත්තත් තනිකම දැනෙන වෙලාවට මාත් ඔයත් එක්ක ඔහේ කතා කළා.." මම එන්න ලැස්ති වෙලා එලියට එනකොට එයා කිව්ව

මං හිනා වෙලා ඔලුව වනල එන්න ආව.

ඊට අවුරුද්දකට පස්සේ මම බාග්‍යව කසාද බැන්ද. ඒ ගොල්ලන්ගේ පවුලේ අයගෙන් උදව් ලැබුණු කට්ටිය දැනටත් සැරින් සැරේ අපිට කතා කරනවා.




1 comment: