Tuesday, June 3, 2014

එකෝමත් එක දවසක - දවසක් දා -02

ඇය මගේ මිතුරු ලැයිස්තුවට ඇතුලත් උනා කියා මට එතරම් විශේෂයක් දැනුනේ නැත. මන්ද එදවස් වල මා තවත් ගෑණු ළමයෙකුට හාපුරා කියා පැණි හලන්නට පටන් ගෙන සිටි නිසාය.

උනේ මෙන්න මේකය. කැම්පස් එකේ දේශන අතරතුරේ එක් ගෑණු ළමයෙකු මදෙස බලා ඉන්නා අයුරු එක් දිනක් මට අහම්බෙන් දකින්නට ලැබුණි. මගේ චප්ප උනු මුණ දෙස බලා ඉන්නා ගෑණු ළමුන් දුර්ලබ හෙයින් මමද ප්‍රීතියෙන් ඔකඳ උනු නමුත් ඈ මා බැලූ සැනින් ඉවත බලා ගත්තාය. කැම්පස් ජිවිතයේ පලවෙනි වතාවට හිත පුරා ගෑණු ළමයෙකුට පැණි හැලීමට හැකි තත්වයක සිටි නිසා මම නිතරම ඈ දෙස බලා උන්නේ බැරි වීමකින් හෝ ඈ නැවත බැලුවොත් හිනැහෙන්නය.

ඈ තව වතාවක් නොව දෙතුන් වතාවක්ම මදෙස බැලුවාය. මෙසේ මසක් පමණ මේ සෙල්ලම දිගටම කෙරුණු නමුත්, ඈට කැම්පස් එකෙන් පිට, නිවසින් යෝජනා කරන ලද මනමාලයෙකු සිටින බව මම දැන ගත්තේ පසුවය. අප දෙදෙනා අනතුරුව හොඳ මිතුරන් වූයෙමු.

මුණු පොතේ බයානක වසංගතයක් මෙන් එක සෙල්ලමක් පැතිර ගියේ මෙන්න මේ අතරය. සෙල්ලමේ නම සඳහන් කලොත් රොටියා කවුදැයි හෙලිවීමේ දරුණු අවධානමක් පවතින නිසා ඒ අවදානම ගැනීමට රොටියා සුදානම් නැත. වැඩි කලක් නොයවාම රොටියා මේ සෙල්ලමේ යාවජීව සාමාජිකයෙක් විය. රොටියා විසින් තම මුණු පොත් යහළු යෙහෙලියන් සියළු දෙනාටම සෙල්ලමට ආරාදනා කොට පණිවුඩ යැවූ අතර වැඩි කල් නොයවාම මෙම සෙල්ලම පිස්සුවක් තරමටම උග්‍ර විය.

සෙල්ලම සිදු වුයේ ජාලගතවය. ඒ කියන්නේ තමුන්ගේ ලකුණු පිළිබඳව බලාගෙන සිටීම පමණක් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවිණි. තරඟකරුවන් අනෙක් අයගේ ලකුණු අඩු කිරීම සඳහාද යම් යම් ක්‍රියා මාර්ග ගත යුතු විය.

මතක ලෙස අගෝස්තු හත් වෙනිදා වන්නට ඕනෑය. මම අර සුරන්ගනාවගේ ලකුණු අඩු කිරීම සඳහා (ඇයද සෙල්ලමේ ක්‍රියාශීලි තරඟකාරිනියක් වුවාය) යමක් සිදු කොට, ඇයට පණිවුඩයක්ද ලියා තැබුවෙමි.

"කවුද කියලත් දන්නේ නෑ. ඒත් කමක් නෑ මම අද _________ ______ ______ කළා"

ඈ මට පෙරලා පහර එල්ල කලේ ඉන් දින දෙකකට පසුවය

"ඒකට කමක් නෑ.ඔන්න මමත් අද ________ ________ කළා"

විස්වාස කරන්න. එය පටන් ගත්තේ ඔන්න ඔහොමය


2 comments:

  1. අනේ රොටියෝ මේ කථා කියවන්න බලන් ඉඳලම එපා වෙලා. එක කථාවක් කියවල හත් අවුරුද්දක් බලන් ඉන්න ඕනනෙ. රොටියාගේ ජීවන අරගලය නිසා ලියන්න කාල වේලාව අඩු බවත් දන්නවා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete