Tuesday, June 16, 2015

රොටියාගේ කසාදයට පස්සෙන් පසුව....

මේ කියවන ඔබ ඉස් ඉස්සර වෙලාම ගෑණු ළමයෙකු මුණගැසෙන්නට යනවා නම් කියන දේවල් ගැන බොහොම පරිස්සම් විය යුත්තේය. පිරිමි අප මහා ලොකුවට නොසලකන , ඇතැම් විට නොසලකාම හරින ඇතැම් කියුම් අල්ලාගෙන ගෑණු ළමුන් නටන නැටුම් ගැන අවබෝධයක් ගැනීමට නම් ගෑණු ළමයෙක් ආශ්‍රය ම කර දැන ගත යුත්තේය

වැඩි දුරක නැත. අද පාන්දර ඇදුම් අල්මාරිය ඇර බැලූ කල , රොටියාගේ ටි ෂර්ටයක් තලු මරමින් සිටි කුඹි සේනාව දුටු කල , මේ ටි ෂර්ට් එක හරියට හේදිලා නැතුවා වගේ යයි කියූ කියුම අල්ලාගෙන දැන් ඈ රොටියා සමග මරු කේන්තියෙන් සිටින්නීය. රොටියා ඒ ප්‍රකාශය කළේ ඇයගේ රෙදි සේදුමේ වරදක් ලෙස නෙවේ යයි රොටියා පොලවේ පස් කමින් දිවුරා කියා සිටියත් දැන් ඈ යකා වගේය. ඒ වෙලාවට අන්තිමේ ඕනෑ කෙහෙල්මලක් හිතා ගන්නට ඉඩ හැර කට පියාගෙන පැත්තකට වීම ගුණදායකය. රොටියා මුල් කාලයේදී නම් ඒ වෙලාවට මෙසේ කියයි

"මම ඒක එච්චර හිතල නෙවෙයි කිව්වේ. "

කවදාවත් ඔන්න ඔයාකාරව නම් කියන්න එපාය. එවිට ඈ වැඩිවූ කෝපයෙන් මෙසේ කියනු ලබන්නිය

"හුහ්.. ඔයා මොනාද හිතල කියන්නේ. අන්තිමට කියයි මගෙන් යාලු වෙන්න ඇහුවෙත් එච්චර හිතල නෙවෙයි කියල. මිනිස්සු ඔලුවක් ඇතුව උපදින්නේ හිතල කතා කරන්න...(සහ තවත් දේ)

ඊළඟට එවැනි අවස්ථාවල රොටියා මෙසේ කියන්නට යෙදුනාය.

"කියන වචන ගැන ඔච්චර දිගට හිතන්න එපා අනේ. මම දෙයක් කියපුවාම එකේ නරකම පැත්තනේ අනේ ඔයා හිතන්නේ.."

ඔබට මද කිපුණු අලියෙක් ඉදිරිපිට ඇතිවන හැඟීම දැනෙන තැනට වැඩ සිද්ද කර ගැනීමට අවශ්‍ය නම් ඒ ලෙස කිව්වාට කමක් නැත්තේය. එවිට ඈ රතු වූ දෙනෙතින් (සමහර විට දත් කූරු සපමින්) මෙසේ කියනු ඇත

"මනුස්සයෙක්ගේ හිත රිදෙන්න ඕනේ දෙයක් කියල ඊ ලඟට අනේ එක ඔයාට තේරුණු හැටි වැරදියි කියන්න ඕනේ කෙනෙකුට කියන්න පුළුවන්. (ස්වරය වැඩි කරමින්) ඕනේ බුරුවෙකුට එහෙම කියන්න පුළුවන්. හැම දේම අතට පයට කරලා දීල අන්තිම හිත රිදෙන කතා අහගන්න තමා මට තියෙන්නේ.

මෙන්න මේ වෙලාව අන්තිම බයානක වෙලාවය. මක්නිසාදයත් ඇගේ හැසිරීමට ඔබට හිනා යන්නට එන නිසාය. බැරි වෙලාවකින් හෝ ඔබට හිනා ගියහොත් ඈ නාට්‍යාකාරව මෙසේ බෙරිහන්දෙනු ලබන්නිය

"හයියෝඕ.. මේ ලෝකෙ මෙච්චර මිනිස්සු ඉද්දි මං කරගත්තනෙ කසාදයක්... මට එපා වෙලා තියෙන්නේ"

එනිසා හොඳම දේ මෙසේ කීමය

"මම එහෙම කියපු එක වැරදියි. සොරි කියපු එකට. ඔයා මට කොච්චර දේවල් කරලා දෙනවද.. මම ආයේ එහෙම කියන්නේ නෑ. ප්‍රොමිස්.."

ඒක හරියට අර අඬන පොඩි එකෙකුට ලොලියක් දෙනවාක් වගේය. ඕවා ඔන්න ඔහොමය..

අනෙක් අතට ඔබ කියූ දෙයක් ඈට අමතක යයි හිතාගෙන ඉන්න එහෙම එපාය. ගෑණු ළමයි එහෙම ලේසියෙන් දෙයක් අමතක කරන්නේ නැත්තේය. ඔබට මතක නැති , ඔබ කියූ බොහෝමයක් දෑ ගලේ කෙටුවා සේ ඔවුන්ට මතකය. උදාහරණයක් පහතය

රොටියා මදක් නිලට බර යයි මිට පෙරත් කීප වතාවක්ම සඳහන් කොට ඇත්තේය. රොටියාගේ පවුලේ ඇත්තෝද නිලට බර උදවියය. ඒ නිසා රොටියාගේද හිත යන පාට නිල් ය. නමුත් ගෑණු ළමයාගේ පරමාදර්ශී චරිතය රනිල්ය.

මේ අකුරේ වෙනස නිසා රොටියා දැනටමත් ජිවිත කාලයකට හරියන්න ඇගෙන් දේශපාලනය ඉගෙන ගෙන ඇත්තේය. එය සිද්ද වන්නට වැඩකටයුතු යෙදුනේ මෙන්න මෙහෙමය

රොටියා හා ගෑණු ළමයා අතර නිල වශයෙන් වශයෙන් සම්බන්දය ආරම්බ වන්නට පෙර දෙදෙනාම එකිනෙකා හා කතා බහ කළේ වචන තෝරා බේරා ගෙන බොහොම පරිස්සමටය. යුද්ධය නැවත්වීම ගැන ලොකුවට වර්ණනා කල නිසා රොටියා හිතාගෙන උන්නේ ගෑණු ළමයාද නිලට බර බවය.

ඒ තීරනාත්මක හමුවීම සිද්ද උනේ ඔන්න ඔය අල්ලේ පනල්ලේය. එදා සිද්ද වුනු කතා බහ පහත ලෙසය

රොටියා: ඔයා මාව බදින්න කැමතිද?

ගෑණු ළමයා: ඔයා UNP නේද?

මෙය ඇසු ස්වරය නිසා රොටියාගේ ඔලුවේ සීනුවක් නාද වන්නට යෙදුනේය.

රොටියා: (එදා උදෙත් මහින්ද වෙනුවෙන් සිය මිතුරන් හා වාද කළේ මෙන්න මේ කියන රොටියාමය) මට එහෙම පැත්තක් නැහැ. හරි පැත්තට චන්දෙ දෙනවා

ගෑණු ළමයා: හම්මේ එහෙනං කමක් නෑ. මං නං කීයටවත් SFP එකේ කෙනෙක් එක්ක නං යාලු වෙන්නේ නෑ. ඒ කට්ටියත් එක්ක කිසිම දෙයක් ගැන කතා කරලා විසඳ ගන්න බෑ. මාත් ඔයාට කැමතියි..

ඉතින් මොනවා කියා කරන්නද .. ගෑණු ළමයාට රොටියාගේ ඇත්ත තත්වය තේරුම් ගියේ ජෙනරාල් ජනාදිපතිවරනයට ඉදිරිපත් වූ විටය. එදා සිට ඈ රණ්ඩුවක දී අවසාන වශයෙන් මෙසේ කියනු ලබන්නිය

"ඕක තමයි මම UNP එකෙක් ව බදින්න හෙව්වේ. කොහෙද මාව රවට්ටලා....."



22 comments:

  1. ඔය හොඳට හම්බෙලා තියෙන්නෙ රැවැට්ටුව ඒවට :D

    ReplyDelete
  2. සුප්ප පාඩම.. හැක්. මං මේ කම්පනා කරේ වැරදිලාවත් ඔය ඇත්ති මේ බ්ලොග එහෙම කියෙව්වනම් බොට ඇතිවන තත්ත්වේ.. (හැක්.. මේ කියන මටද ඒ හැටිම වෙනසක් නැත. එකම සහනය බලෙන් පෙන්නුවත් උඩින් පල්ලෙන් කියවා ඔයිට වැඩිය කරන්න වැදගත් දෙයක් නැද්දැයි අහනවා මිස කවදාවත් උවමනාවෙන් මේවා කියවන්නෙ නැතැයි යන විශ්වාසය පමණි.)

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම හිතන්නෙවත් නෑ බං

      Delete
  3. හෙහ් හෙහ්. තාම බැඳල නැති හන්ද මං හිතන්නෙ මේව කියවපුවම හිනා යනව විතරයි. ඒත් කවද හරි බැන්ද දවසක අපිටත් තේරෙයි.
    කතාවක් තියෙයිනෙ දෙයක් තේරෙන්න වෙන්නම ඕන කියල

    ReplyDelete
  4. රොටියාගේ රොටිය කෑමෙන් පස්සෙන් පසුව....

    හුකෑස්

    ReplyDelete
    Replies
    1. මමත් කාලා ගල් වෙලා ඉන්නේ

      Delete
  5. ඕක තමයි ඇත්තම තත්වය.....

    ReplyDelete
  6. මෙතන මචං වෙන ප්‍රශ්නයක් තියෙන පාටයි...
    මට අල්ලලම ගිය කෑල්ල තමයි ..නිල්-----රනිල්----
    මරු ඕයි...!

    ReplyDelete
    Replies
    1. තැන්කියු වේවා මචං

      Delete
  7. Replies
    1. ඔව්. ඕනේ කෙනෙකුට ඕනේ මතයක් දරන්න නිදහස තියෙනවා. රොටියාගේ ගෑණු ළමයටත් තියෙනවා

      Delete
  8. අපොයි පක්ෂ දේශපාලනේ මඟුල් වලටත් බලපාන රටක්.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් මම තරන් බැට කාපු එකෙක් නැතුව ඇති කොහෙවත්

      Delete
  9. සාදු සාදු සාදු.............

    ReplyDelete
  10. හිනා ගිහින් මලා රොටියෝ.. අපේ ඩෑල් එකත් කැපුවත් නිල්. මාරාන්තික වලි යනවා ඒ නිසා හිටිගමන්.

    ReplyDelete
  11. යකෝ මගේ ලය්ෆ් ස්ටොරිය ලිඋවේ ඇයි, හැක හැක මල් හතයි,ගෑණු ඔහොමමයි.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete