Friday, September 4, 2015

නිවන තව දුරද අම්මේ???

නිවන මොනවගේද මගේ සුදු අම්මේ..
රතුපාට නිල්පාට කොලපාට බෝල බෝල වගේ දිලිසෙන දෙයක්ද අම්මේ
නැත්නම් මුද්දරප්පලම්, කජු දාපු අයිස්ක්‍රීම් වගේ දෙයක්ද අම්මේ
එහෙමත් නැත්නම් ගුණපාල මුදලාලිගේ කිරිපාට වාහනේ වගේද අම්මේ

ඉස්සර වගේ දඟ නොකර
මල්ලිලා නංගිලා බලාගෙන හරියට
කියනදේ අහගෙන
හිටියොත් එක්ක යනවද මාව

සරුංගලේ මගේ රතු රැලි දාපු- උඩ යවනවා මං තිතක් වෙනතුරු
නුල ගැටගහල ලිද ළඟ ගහේ සරු - නගිනවා මං නිවන හම්බවෙනතුරු

සාසනේ රැකගන්න
දේපල පිටනොයන්න
ටිකක් ලොකුවුනාම ම
එන්නං මං පන්සලට

ගෙවන හැම දවසකම
මතක් වෙනවා ගෙදර
මහන්සියි මට හරිම
තව ගොඩක් දුරද නිවනට...


දැන් මේක කියවපු නෝනා මහත්වරු රොටියාට අපායට විසා දෙන්න කලින් පොඩි දෙයක් කියන්න කැමතියි
අන්‍යාගම්කරණයට විරුද්දව ගිරිය කඩාගෙන කෑ ගහන උත්තමයෝ පොඩ්ඩක් හොයල බලනවද ඇයි ඒ මිනිස්සු ඒ ඒ ආගම් වලට හැරෙන්නේ කියල..
ඔව් ඔව්.. ඒ මිනිස්සුන්ට සල්ලි දීල තමයි..
දිව්‍ය ලෝකෙ යන්න කලින් ජීවත්වෙලා ඉන්න එපැයි
ඒ නිසා ඒ මිනිස්සුත් සල්ලි ගන්නවා තමයි
ඒ ආගම් වලට සල්ලි හම්බෙන්නේ කොහොමද
හරියට හරි.. පිටරටින්

පිටරට ආදාරත් ඇති.නමුත් ඒ ආගම් වල දුප්පත් අය සඳහා නිසි වැඩපිළිවලක් තියෙන බව මම දන්නවා. කතෝලික ආගම ගත්තොත් සිස්ට කෙනෙක් හරි ෆාදර් කෙනෙක් වෙන්න හරි හරිම අමාරුයි. ඔවුන්ට ඉස්සරලා හොඳට උගන්නලා ඊළඟට තමා සාසනයට ඇතුල් කර ගන්නේ. ඒ අතර කාලයේ ඕනෑ කෙනෙක්ට ඒකඅතහැරලා යන්න පුළුවනි .කාලයක් කතෝලික ආගමට සම්බන්ධ තැනක නැවතිලා හිටිය නිසා මම කියන්නං(ඔව් ඔව්.. මම ඒ දවස් වල හැමදාම දිව්‍ය පුජාවටත් හිටිය තමා. හැබැයි බෞතිස්ම නම් උනේ නැහැ. අදටත් මම හොඳ බෞද්ධයෙක්)
ඒ ෆාදර්ස් ලා සිස්ටර්ස් ලා හම්බ කරන සල්ලි ඔක්කොම දෙන්නේ ඒ අයගේ නිකායට. නිකායෙන් එතුමන්/ එතුමියන්ට ගෙවීමක් කරනවා මාසිකව. සල්ලි කාරයෝ දෙන ආධාර උනත් එහෙමයි. ඒ සල්ලි වලින් නිකාය දුප්පත් අයට උදව් කරනවා
දුප්පත් ළමයි නවත්තගෙන ඉන්නවා. මම කියන්නේ නැහැ ඒ ළමයින්ට රජ පැටවුන්ට වගේ සලකනවා කියල. ඒත් ඒ ළමයින්ට අරපරිස්සම ගැන හොඳටම උගන්නවා ප්‍රායෝගිකවම.
ඒ ළමයින්ව කර්මාන්ත වලට හුරුකරනවා. නිසි වයසේදී ගෙදර යවනවා. නැත්නම් බන්දල දෙනවා
හැබැයි එහෙම ඉන්න ළමයි ඔක්කොම අවුරුදු 15,16 වගේ වයස් වල ළමයි.

ඇයි බුද්ධාගමේ විතරක් එහෙම පිළිවලක් නැත්තේ. (එහෙම තියෙන පන්සල් ගැන මම නම් ඇත්තටම දන්නේ නැහැ). ඔය පොඩි ළමයි ටික ඔය වයසේදී මහන කරවන්නේ නැතිව ටිකක් තේරෙන වයසට ආවම මහන කරන්න බැරි ඇයි...
ළමයෙක් ඇත්තටම කැමති උනත් නිසිවයසට එනකම් ඒ ලමයව පන්සලේ තියාගෙන උගන්න බැයිද..
දුප්පත් පවුල්වල බර අඩු කරන්න ඒ පවුල්වල ළමයින්ව මහන කරන්නම ඕනෙද..
ඇයි අපේ ගොඩක් හාමුදුරුවරු පන්සල් වල අර බිල්ඩිමයි මේ බිල්ඩිමයි හද හද දගලන්නේ..
ඇයි මේ සමහර හාමුදුරුවරු අසපු තියාගෙන වැජබෙන්නේ..(නෑය කියන්න නම් එපා)
ඇති හැකි සත්ගුණවත් බෞද්ධ ජනතාවට බැයිද මාසිකව යම් මුදලක් පරිත්‍යාග කරන්න..දුප්පත් අයට

මේක බලන්න

2 comments:

  1. ඇත්තම කතාව ඉස්සර එහෙම තමයි කරේ. උදාහරණයක් විදිහට බළන්ගොඩ ආනන්ද හමුදුරුවොන්ගේ ජීවිත කතාවේ තියනව පොඩි කාලෙ එතුම කොච්චර කැමැත්තෙන් හිටියත් මහන වෙන්න කලින් පන්සලේ ඉඳගෙන කොච්චර දේවල් ඉගෙනගත්තද කියන එක. එහෙම ඉඳගෙන පැවිදි උනහම දරන්න තියෙන වගකීම් සම්භාරය හරියට ඉගෙන ගත්ත නිසා තමයි ලෝකෙම පිළිගත්ත හාමුදුරු කෙනෙක් උනේ.
    අද හැමදේම ක්‍ෂණික නුඩ්ල්ස් වගේ වෙන්න ඕනි කියන මතය නිසා තමයි ඔය හැම ප්‍රශ්නයක්ම ඇති උනේ.
    අනගාරික ධර්මපාල තුමා තරම් කාර්මික තාක්‍ෂණය මිනිස්සුන්ට දෙන්න මහන්සිවෙච්ච කෙනෙක් ලංකාවේ නැති තරම්. ගංගාරාම පන්සලේ වෘතීය පුහුණු මධ්‍යස්ථානයක් තියනව. ඒ ක්‍රමය අනිත් ලොකු පන්සලුත් අනුගමනය කරනවානම් ඒක ලොකු දෙයක්.

    ReplyDelete
  2. ඔව් රොටියා .................. කතාව ඒක්ක ඒකගයි... මේවා දැන්වත් වෙනස් විය යුතුයි....

    ReplyDelete