Wednesday, October 21, 2015

රාවණායනය 2

පළමු කොටස මෙතනින්


උදෑසන සරසවිය භුමිය වටා පැතිර තිබූ මිදුමත් සමග ආ කුමක්දෝ සුවදක් විශ්වට සිය අතීතය සිහි කළේය. තම සීයාත් සමග මාචු පිචු නම් ඉන්කා බලකොටුව සොයා අන්දීස් කඳුවැටියට ගිය ඒ දුෂ්කර ගමනේ දී හැම හිමිදිරියකම තමා වින්දේ මේ සුවඳමය.
ඒ තමා සියා සමග ගිය මුල්ම ගමන නොවේ. ඊට කලින් බොහෝ වතාවක් රට හෝ නොරටෙහි යෙදුනු සීයාගේ ගමන් වල ගමන් සහයකයා වුයේ විශ්වය. සැබවින්ම තමා සීයාට සහයකට වඩා ගෙන දුන්නේ කරදරයන්ම බව විශ්වට සිහිවන්නේ සිනාවක්ද සමගය. ගීසා වට ගිය ගමනේදී කණ්ඩායම මග නොහැර ගන්නා ලෙස මග පෙන්වන්නා උදක්ම ඉල්ලා සිටියද කාගේත් ඇස් වසා කණ්ඩායමෙන් පැන ගන්නට විශ්ව සමත් විය. විශ්ව මගහැරුණු බව වැටහෙන විට පිරිස සිටියේ ගීසා හි ප්‍රධාන ශාලාවේය. විශ්ව පසුව දැනගන්නට යෙදුනු පරිදි එදින කණ්ඩායමෙන් අඩුවෙන්ම කලබල වී ඇත්තේ තම සීයාය. කණ්ඩායම රැජිනියන්ගේ පිරමිඩ අසලට එන විට එතැන හුන් විශ්ව දැක පුදුම වී තමුන්ට පෙර එතැනට කෙසේ පැමිණියාදැයි විමසූ කල තමා සෙසු පිරිසට ඉදිරියෙන් දිව ගිය බවට කී කතාව, බොරුවක් යැයි වැටහුනේද සියාටම පමණි. එදින රාත්‍රියේ සෙස්සෝ නින්දට ගිය කල විශ්ව සමග එලියට පැමිණි සීයාට තමා සොයා ගත් රහස් උමං මාර්ගය පෙන්වීමට විශ්වට සිදුවුනේ ය. සියා තුල හිඳි කොලුවා විශ්ව සමග එක්වී, එක විදුලි පහනක් පමණක් අතැතිව ඒ උමං මග ඔස්සේ රැජිනියන්ගේ සොහොන් කරා ගිය ඒ ගමන ප්‍රීතිමත්ය.
" ඈ බන් , දැන් අපිට නෙෆර්ටිටි එහෙම හම්බුනොත් මොකක්ද කියන්නේ.... ඒ ඇත්තිට හදිස්සියෙවත් උඹේ සීයා ගැන හිතක් හිතුනොත් මං මෙහෙ ඉන්නං. උඹ ගිහින් කියහන් ආච්චිට සියා හදිසියේ මලා කියල"
සීයා දඟකාරය. විශ්ව ට හැඟුණු පරිදි මව් කුසයෙන් එලිය දුටු දින සිටම මහා බක පණ්ඩිතයෙක් ලෙස හැසිරෙන සිය බාල සොයුරා 'පෘතුවි' ට වඩා සීයා දඟකාරය.

කෙරවලක් නැතිව දිව ගිය විශ්වගේ සිතිවිලි යලිත් පේරාදෙණිය සරසවිය වෙත පොලා පැන්නේ ඈතින් එන නෙලුම් දුටුවිටය. සිතිවිලි කෙතරම් අපූරුද. "දුර ගමනේ යෙදෙන .. තනිව හැසිරෙන...."

පුරුදු පරිදි විශ්වව දුටු වහාම නෙලුම් ගස්සා අහක බලා ගත්තාය.
"අඩෝ මැස්සෙක් ගිය උඩ.." විශ්වට පිටුපසින් සිට කෑගැසුවේ ප්‍රියන්ත හෙවත් 'ප්‍රියා ' ය.ඊලඟට ඔහු 'අල්ලලා දාහන් මචං ' කියමින් විශ්වගේ කරට අත දමා ගත්තේය.

"යකෝ උඹ තව අවුරුද්දකින් ඩොකෙක්.. උඹේ තාත්තට සල්ලි තියෙනවා බල්ලන්ට ගහන්න. උඹේ මල්ලි ගූගල් එකේ වැඩ. මොකෝ උඹ පෙනුම නැති එකෙක් කියලද.. එහෙමත් එකේ බං මේ හාල් කෑලි වලට ටෝක් කරන්න යන්න එපා බූරුවෝ.."

විශ්ව හිනැහී නැවත පිටුපස හරවා යන නෙලුම් දෙස බැලුවේය. සරසවියේ හිඳිනා විශ්වගේ ඇත්තම තොරතුරු දන්නා අතලොස්සෙන් එකෙකි ප්‍රියන්ත. ප්‍රියන්ත යනු කෙනෙකුට කලාතුරකින් හමුවන ජාතියේ මිතුරෙකු බව විශ්ව තේරුම් ගත්තේ ඔහුව මුණගැසුණු දිනමය.

කෙනෙකු මුණගැහෙන පළමු මොහොතේම ඔහු හෝ ඇය පිළිබඳව බොහෝ විට නිවැරදි තක්සේරුවක් කළහැකි පුදුමාකාර හැකියාවක් විශ්ව සතු විය. කෙනෙකු ගැන මුලින්ම හටගන්නා හැඟීම විශ්ව සමාන කළේ පලිඟු බෝලයකටය

ප්‍රියන්ත - පැහැදිලි අහස් නිලෙන් යුතු පලිඟුවක්

සීයා - දම් , කළු , සුදු මිශ්‍ර වූ පලිඟුවක්
මල්ලී - අඳුරු කහ පැහැ පලිඟුවක්
නෙලුම් - තද රතු පලිඟුවක් (හිමි කර ගත නොහැකි මිරිඟුවක්)

නෙලුම් පිළිබඳව පළමු හැඟීමම එතරම් යහපත් නොවූ නමුදු ඇයවම ලබා ගැනීමට තමුන්ගේ සිත හිතුවක්කාර වීම ගැන විශ්වටම ඇතිවී තිබුනේ පුදුමයකි. එය හරියට අර රෝල කෝස්ටර් එකක යාමට ඇති ආසාව වගේය. හිසරදය වැළඳෙන බව දැන දැනම ගමන් වාරයකට පෝලිමේ හිඳිති

ඊළඟ කොටස ඉක්මනින්.....

13 comments:

  1. නියමයි....... එකෙයි දෙකෙයි සම්බන්ධය තියෙන්නෙ තුන්වෙනි කොටසෙද? ඒකත් දාන්න ඉක්මනට..........

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්න, මෙතනින් පස්සේ ඉක්මනට කොටස් ටික දාන්න තමා හිතන් ඉන්නේ

      Delete
  2. අද්භූත රසය තිබෙන කතාවක් වගෙයි. මාත් කැමති මේ ශෛලියට. ඓතිහාසික කරුණුත් එක්ක ගලපල ලස්සනට ලියල තියනව. ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි. ඉතිහාසය කියන්නේ මාව පිස්සු වට්ටන විෂයක්. ඕනේ තරම් වෙලා අරගෙන හිතන්න ලියන්න මවන්න දකින්න පුළුවන් විෂයක්

      Delete
  3. අමුතු කතාවක්. අනික් කොටස ලඟදි ඒවි නේද?

    ReplyDelete
    Replies
    1. එනවා එනවා... දිගටම කියවන්න

      Delete
  4. මුල කොටසින් මේ කොටසට එන්න ලින්ක් එකක් දාන්න.. ඉතිරි කොටස් ටික ඉක්මනට දාන්න.. එල

    ReplyDelete
    Replies
    1. හරි දාන්නම් . ඉස්තුතියි අදහසට

      Delete
  5. මම රොටියව අඳුනා ගනිමින් ඉන්නවා. සෑහෙන පරාසයක් තියෙන බව පේනවා.

    ReplyDelete
    Replies
    1. ලොකු පරාසයක් නැහැ. තියෙන පරාසය තේරුම් ගන්නට මාත් උත්සහ කරනවා. ඒත් එක් තැනකදී රොටියාගේ සැබෑ අනන්‍යතාවය රොටියාට මහා බාධකයක් වෙනවා. එතැනදී රොටියාව උක්ත කරන එක හරිම සංකීර්ණයි.
      ඉස්තුතියි අදහසට

      Delete