Sunday, February 28, 2016

රාවණායනය 3

පළමු කොටස
දෙවන කොටස

මේඝනි කෝපයෙන් හිස ගැස්සුවාය. ඔහු අදත් ප්‍රමාදය.හැමදාම මෙන්..
ඔහු ප්‍රමාද වෙන හේතුව ඈ දනී. නමුත් තමාට කල හැකි කිසිම දෙයක් නැත. මේඝනි යනු හුදෙක් නියෝගයන් ක්‍රියාවේ යොදවන්නියක් පමණි. නියෝගයකට පිටින් වදනක් හෝ දෙඩීම තහනම්ය. එසේ නොවුවා නම් කල යුත්ත ඈ දන්නීය..

**
විශ්ව විද්‍යාලයට සාමකාමී ලෙස පොලිස් ජීප් රියක් පැමිණීම සාමාන්යෙන් විරල දසුනකි. ජීප් රිය ඉදිරි අසුන අරා හුන් පොලිස් අධිකාරි රොහාන් මල්වැන්න තද කල්පනාවකය. පොලිස් විශේෂ බලකායේ සේවය කල සෙසු තිදෙනාද ඔහුට බාධා නොකර හුන්නද රියදුරු අසුනේ සිටි සාජන් රත්නපාල ට නම් ගමනාන්තය සිහිපත් නොකර ඉන්නට නොහැකි විය

"සර් අපි ආව.."

එය නෑසු ලෙස රොහාන් මල්වැන්න පිටුපස හැරී බැලුවේ මිලින්ද රත්නතුංග දෙසය.

"මිලින්ද හිතනවද මේ දේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කළේ කියල.."

මිලින්ද කල්පනාකාරීව උන්නා පමණි. පිළිතුරු දෙන්නට තරම් විශ්වාසයක් තවම ඔහුට නොවිණි

ඊළඟට රොහාන් මල්වැන්න කතා කළේ පොදුවේ සියලු දෙනාටමය

"අපි රවුන්දබවුට් අප්රෝච් එකක යන්නේ . තෙරුනානේ.."

විශ්ව විද්‍යාලයේ සිසු තොරතුරු වලින් අවශ්‍ය සියලු දේ දැනගත් රොහාන් ඊළඟ නැවතුම ප්‍රොෆෙසර් ඊ ඕ ඊ පෙරේරා මාවත ඔස්සේ අක්බාර් ශාලාව වෙතම විය. ඉබිගමනින් ඇදෙන ජීප් රිය එකතැනකදී තිරිංග යොදා නැවතුනේය.

"සර් අර එන්නේ අපේ හාදය නේද" රත්නපාල තුල වුයේ තමා ත් වැදගත් දෙයක් සොයා ගත්තේ යයි සතුටකි

"යැප් " මල්වැන්න ගේ නෙත් යොමුවී තිබුනේ ඈතින් පැමිණෙන සිසුන් දෙදෙනා දෙසටය

**
මේඝනි සිය ජංගම දුරකතනයේ මේ දැන් ලැබුණු කෙටි පණිවිඩය පිරික්සුවාය. " පටන් ගන්න, සියලු දෙය නිවැරදිම විය යුතුයි."
සිය පොත් පත් වත් එකතු කර ගැනීමට වත් පමා නොවුණු ඈ, සිය බෑගය කරලාගෙන මෙලෝ සිහියක් නැතිව පුස්තකාලයෙන් දිව ගියාය. පුස්තකාලාධිපතිනිය හඬ නගමින් තමන්ව නවත්වා ගැනීමට දරන තැත නෑසුනාක් මෙන් ඈ දිගටම දිව ගියාය

**
විශ්ව නැවතත් නෙලුම් යන දෙස හැරී බැලුවේය. ප්‍රියන්ත කෝපයෙන් පිම්බේය.

"බලහං. තෝ පැණි හලන හැලිල්ලට පොලිසියෙනුත් ඇවිල්ලා" ඇතින් පෙනෙන ජීප් රිය පෙන්වා ඔහු විශ්වගේ බාහුවට පහරක් ගැසීය

ඒ සමගම ප්‍රියන්තගේ ජංගම දුරකථනය කෙටි පණිවුඩයක නාදය නිකුත් කළේය. එය කියවූ ප්‍රියන්ත හිස අත ගසා ගත්තේය

"මල කෙලියයි බං. මං අසයිමන්ට් එක දාල ඇවිත්නේ. රුමා පණිවිඩේ එව්වේ. අනේ බන් තරහ නැතුව වරෙන්කො පොඩ්ඩකට දුවල එන්න"

"උඹ දුවල වරෙන්. මම මෙතන ඉන්නං"

නමුත් ප්රියන්තගෙන් විශ්වට ගැලවීමක් නොවිණි.

"වරෙන් බන් කෝලන් නැතුව " කී ප්‍රියන්ත , විශ්වව ඇදගෙන අක්බාර් ශාලාව දෙසට හැල්මේ දුවන්නට විය

**

පොලිස් නිලදරයන් සිව්දෙනා බලවත් සේ නොසන්සුන් විය.

"ඈ අයිසේ .. මොකෝ අර අනික් හාදය අපේ මනුස්සයව ඇදගෙන දුවන්න තියා ගත්තේ."

"උන්ට මොකක් හරි ඉව වැටුන වත්ද සර්" රත්නපාල ඇසුවේ කලබලයෙනි. මල්වැන්න හිස සැලිය.

"එහෙම නං වෙන්න බෑ අයිසේ.. ඉව වැටෙන්න දෙයක් තියෙන්න එපැයි" මල්වැන්න වැකියේ අග කොටසට බර තිබූ තාලයෙන් මිලින්ද එය තේරුම් ගත්තේය

"කමක් නෑ. අපිට මෙතන දවසම කොල්ලන්ගේ කෝලන් බලන්න බෑ නේ. අපි ෆලෝ කරලා අල්ල ගමු" මල්වැන්නගේ මුවින් පිටවනවාත් සමග රත්නපාල රිය රේස් කළේය. ඒසමගම රිය බඳෙහි හැපෙන්නට යන යුවතිය දුටු ඔහු තිරිංග උඩ හිට නොගත්තා පමණි. අනතුර නූලෙන් වැළකිණි

"කොහෙද යන්නේ හලෝ" මල්වැන්න හිස එලියට දා ඇසුවේ කෝපයෙනි. යුවතිය තවමත් පහව නොගිය තැති ගැන්මෙන් , කඳුලින් බරව හඬන්නට වූවාය.

"හරි හරි. ඉට්ස් ඕකේ. ඔය ළමය යන්න " ඈ වදනක්වත් නොදොඩා ඉකිබිදිමින් හැරෙන විට ඇගේ බෑගය ලෙහි , බෑගයේ වූ සියල්ල ජීප් රිය ඉදිරියේ පාර පුරා විසිරුනේය. කෝපයට පත් රත්නපාල රිය සැර දැම්මේ ඒ හරුබස්ස ටික යට කරගෙනම යන්නටය.

"සර් මගේ ස්ටෙත් එක" ඈ වෙව්ලන හඩින් කෑ ගෑවාය.

"රත්නපාල, ජීප් එක නවත්තන්න" මල්වැන්න දැඩිව කිවේය.

"දුව ගිහින් අහුලගන්න බඩු ටික" ඔහු යුවතියට කාරුණිකව කිවේය

මේඝනි සිය බඩු බාහිරාදිය එක් කරගන්නා තුරු පොලිස් නිලදරයෝ තවත් විනාඩි පහක් පමණ එතන ඉවසිල්ලෙන් බලා හුන්හ.

5 comments:

  1. අනිත් කොටස් දෙකත් කියෙව්වේ නෑ ඉඩක් ලැබෙන වෙලාවක කියවලා කොමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  2. //"සර් මගේ ස්ටෙත් එක" ඈ වෙව්ලන හඩින් කෑ ගෑවාය.//

    කිසි දා වෙන්න බැරි ඇමතුමකි.....

    ReplyDelete
    Replies
    1. මෙඩ්ඩන් එක්ක මොකද්දෝ කොක්කක් ඇති බව පෙනේ... හි හි...

      Delete
  3. "කෝපයෙන් පිම්බේය," කියන යෙදුම මම ඇහුවමද කොහෙද. "........................" he hissed, වගේ ඒවා නම් ඉංග්‍රීසියෙ තියෙනවා.

    ReplyDelete
  4. ඊළඟ කොටස 'හරිම ඉක්මනින්' දාල නොවැ !

    හි හි... හරි අමුතු කතාවක් වගෙයි..... ලිවිම නම් ලස්සනයි

    ReplyDelete