Saturday, August 2, 2014

දුල් අහස

දුල්මිණි වෙලාව බැලුව. හතරයි. ඒත් අහස් පේන තෙක් මානෙක නෑ..

"පරක්කු වෙනවා මම යනවා." දුල්මිණි දුවන ගමන් ම හදිසියට ජන්ගමයට ඔබල දැම්ම. අහස් ගේ ජන්ගමයා බීප් බීප් ගෑවා
"පොඩ්ඩක් ඉන්න. එක්කෙනෙක් එනවා.." දුල්මි නැග්ග බස් එකේ කොන්දොස්තර ආයෙම සැරයක් කිව්ව. මදුසමයට යන මනමාලියෙක් වගේ යම්දෝ නොයම්දෝ හිත හිතා, පස්සට ඇද ඇද උන් බස් රාජයා බොහොම ලේසියට නැවත වතාවක් නැවතුනා. ඒත් එක්ක කාගේදෝ හතියක්..

"අහස්"

දුල්මිට ඇද කරපු අහස් දෙන්නටම ටිකට් ගත්තා.

"මොකද මෝඩයෝ වෙලාවට එන්න බැරි" දෙන්න අතරේ කුණුහරුපෙන් බැනගන්න උනත් පුළුවන් තරමට යාළුකමක් තිබ්බ නිසා දුල්මි ඇහුවේ සැරෙන්
අහස් ඔලුව කැසුවා. පොඩි උනු ෂර්ට් එක, දවස් දෙකක් විතර නොකැපුව රැවුල අස්සෙන් නිදිමරපු ඇස් දෙකක් හීනියට හිනැහුනා..

"පොඩි වැඩක් සෙට් උනා. අදම දෙන්න ඕනේ නිසා ඊයේ රෑ ඉවර කළා.."
එතනින් එහාට දුල්මිට මුකුත් කියන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. හැමදාමත් අමුතු සිතුම් එක්ක ජිවත් උනු අහස්ගේ ජිවිතේ හරි අපිලිවලයි කියල ඈට හිතුන. අහස්ගේ අම්මල තාත්තලට සල්ලි තිබ්බත්, හැමදාම අහස් කොහෙන් කොහෙන් හරි හොයා ගත්තු පොඩි පොඩි ව්‍යාපෘති කළේ සල්ලි හොයාගන්න. මාසේ වියදම අම්මල දෙන එකේ ඔහොම නැහෙන්නේ මොකද කියල කීප වතාවක්ම ඇහුවත් අහස් නිසි උත්තරයක් දුන්නේ නෑ. ඒ සල්ලි වලට මොකද කරන්නේ කියල කිව්වෙත් නෑ

දුල්මි හිතුවේ අහස් ඒ සල්ලි වලින් යාළුවොත් එක්ක රෑ තිස්සේ සාජ්ජේ දානවා ඇති කියල. මොකද අහස්ට පඳුරකට ගහල සීයක් හොයාගන්න තරමට යාළුවො හිටියා..

ඒ මුකුත් තමුන්ට අදාළ නැති උනත් , නාස්ති වෙන්න එපා කියන එක කීප වතාවක් කීප විදියකටම දුල්මි අහස්ට කිව්ව. ඒ හැම වෙලාවකම අහස් තේරුම් ගන්න අමාරු බැල්මකින් දුල්මි දිහා බලන් උන්නා

"එන්න එන්න" අහස් දුල්මිගේ අතින් අදිනවා හැමදාමත් වගේ. බස් එකේ හිස් වුනු සිට් එකක් කකුලෙන් මුවා කරගෙන. වටේ හිටපු ඇන්ටිලා අන්කල්ගේ බලාපොරොත්තු කඩවුණු, තරහෙන් පිපිරෙන මුණු දැකල දුල්මිගේ මුණ බිට් අලයක් වගේ රතු පාට වෙලා.

"පිස්සුද හලෝ. මට හිටන් ගියෑකී" දුල්මි කිව්වේ හඬ අඩු කරලා

"පණ්ඩිත කම් නැතිව වාඩි වෙනවා කියන දේ අහල" එපාර අහස් ගේ වෙස් පෙරලිලා. නපුරු වුනු ඇස් තවත් රතු වෙලා. මේ පන්තියට යන්න පටන් ගත්තු දවසෙම තමුන්ව බලා ගන්න රාජකාරිය, බාලසුරිය අංකල්ගේ පුතා උනු අහස්ට බාර දීපු තමුන්ගේ අම්මලට හිතින් බැන බැන දුල්මි වාඩි උනා.

අහස් බොහොම හොඳ යාලුවෙක්. ඒත් පරිස්සම ඕනාවට වැඩියි. යාලුවොත් එක්ක එකතු උනාම පිස්සෙක් වගේ ගෑණු ළමයින්ට විහිලු කරන හැටි දුල්මි දැකල තියෙනවා.

"ඔයාව මට මහ කරදරයක්. ඒත් ඔයාව බාර දුන්නේ අම්මල නිසා මට ඔයාව පරිස්සන් කරන්න වෙනවා. තේරුනාද" අහස් වාඩි වෙලා ඉන්න දුල්මිගේ කනට කෙඳිරුව. දුල්මිගේ ඇස් වලට කඳුළු පිරුනා.

"මෙතන අඬන්න ලෑස්ති වෙන්න එපා කෙල්ලෙක් වගේ. දකින මිනිස්සු හිතයි ඔයා මගේ ගෑණු ළමයා කියල" අහස් එපාර කිව්වේ ටිකක් තදින්

බස් එක හෝල්ට් එකේ නවත්තපුවාම, දුල්මිගේ බෑග් ඒකත් අරන් දුල්මිව පරිස්සමට බස්සන්නේ අහස්. හැම පිරිමි ළමයෙක්ම වගේ අහස්ව දැනන් හිටිය නිසා කවුරුත් දුල්මිට විහිලු කළේ නම් නෑ

දුල්මිට පන්ති යන අතර තුරේ නින්ද ගියොත් අහස් පරිස්සමට දුල්මිගේ ඔලුව ලඟින් අත තියා ගන්නවා. දවසක් පන්ති ඉවර වෙලා එනකොට කලින් දවසේ පාඩම් කරලා මහන්සියටම දුල්මිට නින්ද ගියා.ඉඩ තිබුණු නිසා එහා පැත්තේ ඉඳන් හිටියේ අහස්. ඇහැරෙද්දි බස් එකේ බාගයක් හිස් වෙලා. බහින්න ඕනේ තැන පහුවෙලා සෑහෙන දුරකුත් ගිහින්. අහස් දුල්මිගේ ඔලුව උරහිසට හේත්තු කරන්, පරිස්සමට ඔලුව ලඟින් අතකුත් තියන් බලන් ඉන්නවා දුල්මිගේ මුණ දිහා.

"ඇති යන්තන් ඇහැරුනා මල කරදරේ" දුල්මිගේ ඇස් මුණගැහෙද්දී අහස් කිව්ව.

"මේ කොහෙද"

"දන්නේ නං නෑ. හැබැයි පැයකට විතර කලින් බහින තැන පහු උනා.."

"මොකද මෝඩයෝ ඇහැරෙව්වේ නැත්තේ"

"ඇයි මෝඩියේ. ඔයාට හොඳටම නින්ද ගිහින් නේ තිබ්බේ"

මේ මනුස්සයත් එක්ක වාද කරලා තේරුමක් නෑ කියල හිතෙන් බැන බැන එදා දුල්මි  අහස් එක්ක ගෙදර ආවේ පාරේ ගිය ටැක්සි එකකිනුයි. දුල්මිගේ නින්ද ගැන කතන්දරේ කීප පාරක්ම අහස් ගෙදර අය හැමෝටම කිය කිය හිනා උනු නිසා දුල්මි සතියක් යනතුරු අහස් එක්ක කතා කලෙත් නෑ

ඔක්කොම දේවල් අස්සේ අහස් දුල්මිට හොඳ යාලුවෙක් වුනු නිසා දුල්මිට අහස්ව අයින් කරන්න තරන් හේතුවක් හොයා ගන්න බැරි උනා.

අවුරුදු තුනහමාරක් ගෙවුන. අලුත් යාළුවො හම්බුනා. වෙන්වුනා. විබාග කළා. ව්‍යාපෘති කළා.. හැබැයි අහස් නම් තාම පටන් ගත්තු තැනමයි. දුල්මිගේ හොඳම යාළුවා. ආරක්ෂකයා . අපිලිවලට ජිවත් වන , ඉක්මනින් තරහ යන අහස්.

අන්තිමට පාටමාලාවේ අන්තිම දවසටම ඇවිත්

"එනවද මාත් එක්ක පොඩි ගමනක් යන්න" හැමදාම දේශන ඉවර වුනු හැටියෙම, අඩුම ගානේ යාලුවෙක් එක්ක කතා කරන්නවත් ඉඩක් තියන්නේ නැතිව දුල්මිව ගෙදර ඇදන් ගිය අහස්ට අද කොහේ හරි යන්න හිතිලා

"යමු. අදින් ඉතින් මගේ කරදරේ ඉවරනේ" අහස් රැව්වා. දුල්මි කටපියාගත්තා.

අහස් දුල්මිව එක්කගෙන ගියේ සයිවර් කඩේකටයි. අවුරුදු ගානක්ම ඔහුගේ පිලිවල තේරුම් අරන් තිබ්බත් දුල්මි අත පස්සට ඇද්ද.

"ලජ්ජා නැද්ද අනේ. අපි යන්කො ටිකක් හොඳ කඩේකට"

කිසිම කතාවක් නැතිව ආපහු හැරිලා පාර හරහා පැනපු අහස්, සෑහෙන හොඳ රෙස්ටොරෙන්ට් එකක් ඇතුලට දුල්මිව එක්කගෙන ගියා.

"මං පටන් ගන්න යන්නේ මගේම ප්‍රඩක්ෂන් හවුස් එකක්."

දුල්මි කිසි දෙයක් කිව්වේ නෑ. අහස්ගේ අපිලවල ජීවිතෙත් එක්ක තමුන්ගේම කියල දෙයක් මොන විදියකට කරගෙන යයිද කියල ඇයට හිතා ගන්න බැරි උනා

"මං ගන්නවා කාර් එකක්. හැච් බැක් එකක්. හයිබ්‍රිඩ් එකක්. ගඟක් අයිනේ මම හදනවා තනි තට්ටුවේ ගෙයක්. බැල්කනියක් එක්ක. රෑට ගඟ දිහා බලන් ඉන්න. මම හදනවා බල්ලෙක්. ජර්මන් ෂෙපර්ඩ් එකෙක්. ඌ ත් ඉඳි මගේ තනියට බැල්කනි එකේ. අපි දෙන්නට කෑම හදන් එයි මගේ පණ, මගේ වයිෆ්. මම මුළු රෑ පුරාම එයාව තුරුළු කරන් ඉඹ ඉඹ ගඟ දිහා බලන් ඉන්නවා. බල්ලට අහක බලාගන්න කියල

දුල්මිට හිනා ගියත් ඒක හංගගන්න ඈට පුළුවන් උනා. අහස්ට මානසික අවුලක් ද කියලත් ඇයට හිතුනා. තමුන්ගේ හොඳම යාළුවා උනත් ඔහුගේ හීන ගැන කියවද්දී, ඇය බාදා නොකළයුතු බවත් ඇයට වැටහුනා

"මගේ වයිෆ් මාව බබෙක් වගේ බලා ගනියි. එයා දන්නවා මට සමහර දේවල් ගැන එච්චරම දැනීමක් නෑ කියල. ඉතින් ඔක්කොම එයා මට කියල දෙනවා ආදරෙන්. මම එයාව බලා ගන්නවා මගේ පණ වගේ. එයාගේ කොන්ඩේ පිරන්නේ මම. එයාට කවන්නේ මම. මට ඕනේ වෙලාවක ගිහින් එයාව තුරුළු කරගන්න පුළුවන්. මම ඔෆිස් එකේ ඉද්දි හදිස්සියේ දුවගෙන ගෙදර එනවා එයාව බලල යන්න."

අහස් තවත් කියෝනව. හැමදාම තමුන්ගේ පස්සෙන් ආපු අහස්මද මේ කියල දුල්මිට විස්වාස කරන්නත් අමාරු උනා. අහස් ඉන්නේ ලොකු හීනෙක. කවදාවත් ලබා ගන්න බැරි බොළඳ ලෝකෙක. දුල්මිට දුක හිතුනේ අහස්ට හම්බවෙන ගෑණු ළමය ගැනයි

"අපි යන්ද බීච් එක පැත්තේ" කියවලම මහන්සි උනු හින්දද කොහෙද අහස් ඇහුව.

"යමු" කිසිම දවසක අහස්ව තත්පරයක්වත් අවිස්වාස නොකරපු දුල්මි කිව්ව

වෙරල අයිනේ ලොකු ගල් පරයක දුල්මි වාඩි උනා. ඊට උඩින් තිබුණු ගල උඩ අහස් වාඩි උනේ දුල්මිව තමුන්ගේ කකුල් වලට මැදි වන විදියටයි. මේ ළඟදිත් අහස්ගේ ගෙදර ගිය වෙලාවක, අහස් කාමරේ ඇදුම් ඇඳ ඇඳ ඉද්දිත් කාමරේ ඇතුලට ගිහින් වාඩි වෙලා කතා කර කර උන්නු දුල්මිට ඒකෙ අමුත්තක් තේරුනේ නෑ.

දුල්මිගේ ගෙල පාමුලට අහස්ගේ ඇඟිලි වල උණුසුම දැනුන. ඔහුගේ ශක්තිමත් සුසුම් රල් ඇගේ කම්මුල් වලට දැනුනේ මුහුදු හුළඟ කපාගෙනයි

"මොකද මෝඩයෝ" දුල්මි ඇහුවේ අහස්ගෙන්

"ඔයා මගේ වයිෆ් වෙන්න කැමතිද මෝඩි" අහස් දුල්මිගෙන් ඇහුවේ රහසෙන්

දුල්මි තමුන්ගේ ගෙල පාමුල තිබුණු අහස්ගේ ඇඟිලි තමුන්ගේ අතින් තදින් අල්ලගත්තා. ඊළඟට ඈ හෙමිහිට ඔහු දිහාවට හැරුන. වචනයක් වත් කතා කරන්නට පෙර ඔහු ගැන එහෙම ආදරණිය හැඟීමක් ඇගේ හිතේ නැති බව අහස්ට වැටහුණා.

"ඒකට කමක් නෑ මෝඩි. හැමදාම අපි යාළුවො වගේ ඉමු නේද"

" ඔයා හැමදාම මගේ හොඳම යාළුවා" දුල්මි කිව්වේ කඳුළු අතරින්. අහස් කොච්චර ආදරණිය වෙන්න හැදුවත් , ඔහු තුල තිබූ ගොඩක් ගතිගුණ තමන්ට ගැලපෙන්නේ නෑ කියලයි දුල්මිට හිතුනේ. අහස්ට කවදාවත් ආදරේ කරන්න බැරි බව ඈට හැගුනා

කාලය ඉගිලිලා ගියා. දුල්මි ට හොඳ රස්සාවක් ලැබුනා. අහස් කොහොම හරි තමුන්ගේ ව්‍යාපාරය පටන් ගෙන තිබ්බ. හැමදාම තමුන්ගේ ජිවිතයේ හැමදෙයක්ම දුල්මි අහස්ට කිව්වා. නිසල් මුණ ගැහුණු හැටියි, එයාට තමුන්ගේ හිත ගිය හැටියි පවා.

අහස්ට තවමත් ගෑණු ළමයෙක් හිටියේ නෑ." අපෝ එයත් එක්ක යාලු වෙන්නේ කවුද" දුල්මි හැමවෙලේම හිතුවේ තරමක් දුරකට කුරිරු විදියටයි. තමුන් හැමවෙලේම අහස්ව පාවිච්චි කරනවා නේද කියන දේ බොහොම ආත්මාර්ථ කාමී විදියට ඇය අමතක කරලා දැම්මා. නිසල් එක්ක ප්‍රශ්නයක් උනු ගමන් ඇයට මතක් වෙන්නේ අහස්ව උනත්, අහස් ගේ ජීවිතේට කවුරු හරි කැන්දාගෙන ඒමක් ගැන ඇය කවදාවත් කල්පනා කළේ නෑ

දවසක් රෑක අහස්ගෙන් දුරකථන ඇමතුමක් ආව ඈට.

"මට එයාව හම්බුනා මෝඩි" ඔහුගේ කටහඬ සංතෝසෙන් පිරිලා.

"කවුද" දුල්මි ඇහුවේ කුතුහලෙන්

"මගේ වයිෆ් ව අනේ" ඊළඟට ඔහු ඈ ගැන ලොකු විස්තරයක් කළා. දුල්මි එච්චර ඕනෑකමකින් ඒවා අහගෙන උන්නේ නෑ.

"කොල්ලෝ දහයක් විතර එක්ක නටලා නටල අන්තිමට මේ මෝඩයාගේ කරේ එල්ලුන බඩුවක් වෙන්න ඇති. දුල්මි නොදැකපු ඒ ගෑණු ලමයව පාතටම ඇදල දැම්ම. ඒත් කටුවකින් ඇන්නා වගේ රිදුමක් හිතට එන එක නවත්ත ගන්න නම් දුල්මිට බැරි උනා.

අහස් ගේ ගෑණු ළමය තමන්ට වඩා ගවු ගානක් පහළින් ඉන්න බව දුල්මිණි ට හැඟීල ගියා, මේක ගොඩක් ගෑණු ළමයින්ගේ හිත යටින්, මුලින්ම තමුන් ප්‍රතික්ෂේප කරපු පිරිමි ළමයි ඊළඟට යාලු වෙන ගෑණු ළමයි ගැන ඇතිවෙන හැඟීමක්. ඒ කියන්නේ පිරිමි ළමයෙක් ආදරේ ඉල්ලලා, එක ප්‍රතික්ෂේප කලාට සමහර ගෑණු ළමයින්ගේ යටි හිතේ තියෙනවා අර පිරිමි ළමයා ඕනේ වෙලාවක තමුන්ව බාර ගන්න ඉන්නවා කියල හැඟීමක්. ඒ පිරිමි ළමයා වෙන ගෑණු ළමයෙක් එක්ක යාලු උනාමවත් ඒ හිතුවිල්ල වෙනස් වෙන්නේ නෑ. එතකොට හිතෙන්නේ අර දෙවැනි ගෑණු ළමයා එක්ක යාලු උනාට, මුලින්ම ආදරේ කළේ තමන්ට නිසා පිරිමි ළමයා ඕනේ වෙලාවක ඒ ලමයව අත ඇරලා තමුන් ලඟට පැනගෙන එයි කියල.

මුල්ම දවසේ කතා කලාට පස්සේ අහස් දුල්මි එක්ක අදාළ ගෑණු ළමයා ගැන වචනයක් වත් කතා කළේ නෑ. හදිසියෙවත් දුල්මි එයාව මතක් කලොත් අහස් කිව්වේ "එයා හොඳින් " කියල විතරමයි

"අහස් ඉන්නේ ගෑනුන්ට ගැලපෙන ලෝකෙක නෙවෙයි. හීනෙක. අර ළමයා හැමවෙලේම රණ්ඩු කරනවා ඇති" දුල්මි හිතින් හිතුව. ඒත් තමුන් නිසල් එක්ක වෙන හැම ප්‍රශ්නයක්ම අහස්ට කිව්වට, ඔහු අනෙක් අතට ඔහුගේ ගෑණු ළමයත් එක්ක ඇතිවන ප්‍රශ්නයක්වත් තමුන් එක්ක නොකියන එක ගැන දුල්මිගේ හිතේ නෝක්කාඩුවකුත් 
 ඇති උනා

වැඩි කාලයක් ගතවෙන්න කලින් දුල්මිව පුදුමයට පත් කරමින් අහස්ගේ දෙමව්පියෝ තමුන්ගේ පුතාගේ මංගල්ලේ ආරාදනා පත්‍රය දුල්මිගේ ගෙදරට අරන් ආව. අහස්ට දැන් දුල්මිව සාමාන්යම සාමාන්‍ය හිතවතියක් විතරක් බව දුල්මිට හරියටම වැටහුනේ එදා. ඔහු තමුන්ගේ විවාහය ගැනවත් නිකමටවත් දුල්මිට කිව්වේ නෑ. අඩුම තරමේ මාසෙකින්වත් දුල්මිට කතා කරලා තිබ්බෙත් නෑ.

"අහස් පුතා හරිම වෙනස් ළමයෙක්. ඉගෙන ගන්න කාලේ ඉඳලම සල්ලි එකතු කළා. ඇයි කියපුවාම කියන්නේ එයාගෙම බිස්නස් එකක් පටන් ගන්න කියල. අපි ඒ දවස් වල හිනා උනා. ඒත් මිනිහ අපෙන් සතයක් වත් ඉල්ලනේ නැතිව තනියම ඔක්කොම කරගත්තා. පුතා හොයාගත්ත ගෑණු ළමයත් එයාටම හරි. මොනවා උනත් පුතා පිළිවලක් උනේ ඒ ළමය හම්බුනාට පස්සේ.."

කාමරේට ඇහෙන අහස්ගේ අම්මගේ පාරට්ටුව අහන ඉන්න බැරි තැන දුල්මි කොට්ටෙන් කන් දෙක වහගත්තා

කාලයේ තියෙන නරකම පුරුද්ද තමයි අපි කාටත් හොරෙන් පැනල දුවන එක. දුල්මි නිසල් එක්ක විවාහ වෙලා මාස හයක් යද්දී, අහස් විවාහ වෙලා අවුරුදු එකහමාරක්.

දුල්මිගෙන් අහන්නෙවත් නැතිව ගෙදර ඔක්කොම අනුරාධපුරේ යන්න දාගෙන. තනියම නෙවෙයි. බාලසුරිය පවුලත් එක්ක

තමුන් නිසල් එක්ක බොහෝම ප්‍රීතිමත් විවහා ජිවිතයක් ගත කරනවා කියල පෙන්නන්න ඕනෑකමකුත් තිබුණු නිසා දුල්මි ගමන මග ඇරියේ නෑ. ඇත්තටම නිසල් හොඳ කෙනෙක්. පොලවේ පයගහල ඉන්න, බොළඳ නැති මනුස්සයෙක්

නිසල් අහස් එක්ක ඉක්මනට හිතවත් උනා. අහස්ගේ කුමාරිකාව, හරිම අමුතු ලස්සනක් තිබුණු ගේෂා දුල්මි එක්ක කීප වතාවක්ම මිතුරු කතා බහක් ආරම්බ කලත්, දුල්මි ඈව හිමින්ම මග ඇරියා. අන්තිමේ යමක් තේරුම් ගිය ගේෂා අම්මල එක්ක කතාවට වැටුනා.

ගමනේ තුන් අර්ධයක් විතර යන කොට නින්ද යාගෙන ආපු දුල්මිට නිසල් අතින් ඇන්නා. "මොනාද හලෝ. නැගිටලා යන්කො. මට පාලුයි" ඊළඟට දුල්මිගේ උරහිස වටා අත දාගෙන නිසල් ඇයව ලන්කරගත්තා.

දුල්මිට ජයග්‍රාහි හැඟීමක් ඇති උනා. දැන් ගේෂ ට තේරෙයි තමුන්ගේ බොළඳ කුමාරයා මවපු ලෝකෙ ඉන්න පිරිමින්ට වඩා පොලවේ පය ගහල ඉන්න පිරිමි ගෑනුන්ට ආදරෙයි කියල

වාහනේ තානායමේ නැවතුනා. හැමෝම බැස්ස. අහසුයි ගේෂයි ඇරෙන්න. බහින්නේ නැද්ද අහගෙන දුල්මි වාහනේ ඇතුලට එබුනා.

ගේෂට නින්ද ගිහින් අහස්ගේ උරහිසේ, අහස් ඇගේ හිස ආදරෙන් අල්ලගෙන ඉන්නවා. ඊළඟට ඔහු හස්ත මුද්‍රාවෙන් කිව්වේ තමුන් ගේෂ අවදි උනාම නවාතැනට එන බවයි

"අපේ පුතා ඔහොමමයි. ගේෂ දුවත් එයිට දෙවැනි නෑ" අහස්ගේ අම්මා හිනැහෙමින් නවාතැනට ගියා

අටමස්තානේ වැඳගෙන එද්දී රෑ වෙලා. කෑම කාලා නිසල්ට උවමනාව තිබ්බේ ඇඳ බදා ගන්න.

"අපි වැව ළඟ පොඩ්ඩක් ඉමුද නිසල්" දුල්මි ඇහුවා

"අනේ බෑ දුලි. හොඳටම මහන්සියි.අපි නිදියමු" නිසල් ඇඳට වැටිලා විනාඩියෙන් ගොරවන්න පටන් ගත්තා. තනිකමක් දැනුනු නිසා දුල්මි කවුළුව අසලට ගියා. එතනට නවාතැන අසල වූ වැව අපුරුවට පෙනෙනවා

වැවට හඳ එලිය වැටිලා දිලිසෙනවා. වැවේ රැලි හෙමිහිට ඉවුරේ වදිනවා. නවාතැන ලඟින්ම තිබුණු බංකුවක දෙන්නෙක් තුරුළු වෙලා වැව දිහා බලන් ඉන්නවා. එකිනෙකාට හාදු දෙනවා.


ඒ කවුද කියල දැනගන්න ආයේ ඒ දිහා බලන්න දුල්මිට ඕනේ කමක් නොතිබුණු නිසා ඈ කවුළුව වහල එන්න ආව



6 comments:

  1. උභතෝකෝටිකයකි!
    ගේෂා ද? දුල් ද?
    උභතෝකෝටිකයකි!
    පරණ හීනයමද? අලුත් හීනයක් වෙත යායුතුද?

    ReplyDelete
  2. Maara seen ekane.. Kello ohomamay bn..

    ~Dikpitiya

    ReplyDelete
  3. ගේෂා ද? දුල් ද?
    ~Dikpitiya??

    ReplyDelete
  4. Very interesting story, and nicely written as well..

    ReplyDelete