Monday, October 17, 2016

නෑයෝ!

කිරිවත්තුඩුව මාමා ඔලුව වනන්නේ කටුස්සෙක් වගේමය. මාමාගේ නැන්දා නං ඉන්නේ එලෝ විකාරෙන්ය. දෙදෙනාම පැමිණ ඉන්නේ සීයාගේ දුක සැප බලන් යන්නටය. සීයා ඉන්නේ අපේ ගෙදරය. අනෙක් අතට අපි ඉන්නේ මහ ගෙදරය.ඒ නිසා මොකා ඇවිත් මොනවා කිව්වත් අහගෙන හිටිය යුතුය. නොනිල නිතිය එයය.

මාමා කියන විදියට සීයාට හරියට බෙහෙතක් වැටී නැත. නියම ශිල්පීය ක්‍රමයට තෙල් සාත්තුව කෙරී නැත. මගේ හා අයියාගේ මූණු මගහරිමින් හෙතෙම මෙසේද කියයි.
"ගෙදර ඉතින් තෙල් ගාන්න කෙනෙකුත් නෑනේ"

සීයාගේ ලොඹු කට හිනාවකින් ඔපවත් වෙයි.
"ජයසේන ළමයා තමයි හැමදාම රෑට තෙල් ගාල පුරාම තවන්නේ. මේ පියසේන ළමයා ගේන ටොනික් ජාති වලින් තමයි මං මේ තරමට හරි නැගිටලා ඉන්නේ"
අමතක වීමේ රෝගය තදටම ඇති සීයාට ඕවා ඔය තරමින් මතක තිබුනා ඇතිය. මෙතන ආච්චි නොහිටියේ වෙලාවටය. වෙන වෙලාවකට හෙම්බිරිස්සා අමාරුවකට වැඩි අමාරුවක් නැති අපේ ආච්චිට, මාමලා හෝ නැන්දලා ආපු වෙලාවට එච්චර කාලෙකට අපි කරපු කියපු කිසිම දෙයක් මතකයට එන්නේ නැති මහ පුදුමාකාර ලෙඩක් ඇත.

සීයාගේ කැමතිම මාතෘකාව ටොනික්ය. ඒ නිසා කතාව දිගටම අද්දන්නට හේ උත්සහ කරන්නේය.
"ගිය සුමානේද කොහෙද ටොනික් එකක් ගෙනාව , ඒකෙන් දෙවේලයි බිව්වේ . සුමානයක් කක්කුසි නොගිය මට කක්කුසි ගියානේ"

සීයාට මල බද්දය තිබුනේ දවස් දෙකක් පමණකැයි කියා ඒ කතාව නිවැරදි කරන්න අපේ ගෙදර කව්රුත් ඉදිරිපත් වෙන්නේ නැත.

නැන්දා තමුන් ගෙන ආ ඇඹුල් කෙහෙල් ඇවරිය දෙස හොර බැලුම් හෙලද්දී, මාමා පණ්ඩිතමානිව කියන්නේ ඔය එක එකා කියන ටොනික් එහෙම ආවාට ගියාට බොන්න හොඳ නැති බවය. ඒ කතාව අනුමත කරන්නේ දැන් සබාවට පැමිණ සිටින ආච්චිය.

ඒ කතාවට සීයාට පනින්නේ මල් බුරුතු පිටින්ය

"අනේ නොදන්නා ඉලව් නොකිය යනවා. මට කියන්නේ **ට තද කරන් ඉන්ඩ කියලද"

දැන් දැන් මේ කතාව යන දිසාව තමුන්ට අවාසිදායක බව මාමාට වැටහී යන නිසා හීන් සීරුවේ ට්‍රැක් පනින්නේය.

"දැන් ඉතින් ලොකු පුතා හැමදාම ඔහොම කොළඹ ගාටන්නද හිතන් ඉන්නේ. නරකද මේ පැත්තෙන් මොනවා හරි රස්සාවක් හොයා ගත්තොත්.

බහු ජාතික සමාගමක විදායක නිලදාරියෙකු වන අයියා හිනැහෙමින් කියන්නේ ඒ නං පංකාදු පහේ යෝජනාවක් බවය. මාමාගේ ජයට හිනැහෙයි.

ආරියදාස මහත්තය නං මාව හොඳට අඳුනනවා. මං කියල බලන්නකෝ. මහත්තය ලියන කියන වැඩ වලට හොද කෙනෙක් හොයල දෙන්න කියල මට ඊයෙත් කිව්වා.

පළාතේ ධනවතෙකු වන ආරියදාසගේ කොහු කම්හලේ රැකියාවක් පිළිබඳව සිහින දකිමින්දෝ අයියාගේ මුහුණ එලිය වැටෙයි. පුළුවන් උදව්වක් කර දෙන ලෙස හෙතෙම මාමාට පවසයි.

මාමා ඊළඟට හැරෙන්නේ මගේ පැත්තටය. මම නොන්ජලේට හිනැහෙමි

"ඈ පොඩි පුතේ. දැන් ඔය විදියට හැමදාම ගෙදර ඉඳල හරියනවද"

ස්වාධීන විදුලි කාර්මික ශිල්පියෙකු වන මම අසුනේ කෙලින් වෙමි. මම දහ අතේ රැකියාවක් හොයමින් සිටින බව පවසන විට මාමා රැල් බුරුල් හරී.

"ඕක තමයි කියන්නේ. කැම්පස් යතත් හරි එකකට යන්න ඕනේ. දැන් අපේ දුව ගැනම බැලුවොත් එයාට ඕනේ වෙලාවක තිස් හතලිස් දහක රස්සාවකට ගියෑකි. මේ ළමය අර පොඩි එකා හින්ද ගෙදර ඉන්නවා මිසක්"

මාමා ඊළඟට ආඩම්බරෙන් හිස කෙලින් කරන් මෙහෙම කියයි.

"කොල්ල නං තව අවුරුදු දෙකෙන් දොස්තර . දැන් ටිකක් වියදම වැඩියි තමයි. ඒත් ඉතින් ඌ ගොඩ කියන්නේ අපිත් ගොඩනේ"

මාමාගේ පුතාව සිහි වීදෝ තාත්තාගේ මුහුණ සෙනෙහසින් පිරෙයි.

"කොච්චර දෙයක් ද පවුලක දොස්තර කෙනෙක් ඉන්නවයි කියන එක. අපේ දෙන්නම කළේ මැත්ස් නේ"

මාමා කටහඬ පහත් කර සීයාට නොඇසෙන ලෙස මට කියන්නේ තාත්තාගේ සල්ලි නහත්ති කර කර සීයාට ලොවෙත් නැති ටොනික් ජාති ගෙනත් දීම අනවශ්‍ය වැඩක් බවය. තමුන්ගේ වෙන්න දොස්තර පුතා කියන හැටියට ඔය තෙල් බේත් වලින් වෙන්නේ ලෙඩාගේ හිත හැදෙන එක විතරය. ටොනික් කියන්නේ සල්ලි මරුවෝය. ඒවායින් හොඳ වෙන ලෙඩක් නැත්තේය. මවුපියන්ගේ උනත් සල්ලි නාස්ති කිරීම නරක වැඩක්ය

තාත්තා නගන හීන් හිනාව තමුන්ගේ කතාව අනුමත කිරීමක් ලෙස හිතා ගත් මාමා ප්‍රීතියෙන් ඔද වැඩෙයි.

ඊළඟට අම්මා දෙසට හැරෙන මාමා බැගෑපත් මුහුණක් දාගෙන පවසන්නේ තමා පැමිණියේ පොඩි අතමාරුවක් ඉල්ලා ගන්න එක්කත් එක්ක බවය.

අම්මාට බාධා කරමින් කාරයක් පැමිණ අපේ මිදුලේ නවත්වයි.එයින් බසින්නේ හිරිමල් කෙලිත්තියකි. ආච්චිගේ මුණ දෙක වෙයි.

හැමෝටම පෙර පැනගෙන කතා කරන්නේ මාමාය.

"මේ ආරියදාස මහත්තයාගේ දුවනේ. මොකෝ බේබි මෙහෙ"

තමා පැමිණියේ "සර්ව " මුණගැහෙන්න බව කෙලිත්තිය කියයි. මාමා කුතුහලයෙන් දිවිනසාගන්නට පෙර අයියා ඉදිරිපත් වෙයි.

"ඇයි උපේක්ෂා හදිස්සියේ"

"හෙට මට එන්න වෙන්නේ නෑ සර්. මම අර ඩොකියුමන්ට්ස් ටික සර්ට දීලා යන්නයි ආවේ" අයියා ලිපිගොනුව පිරික්සන අතර ඈ මදෙසට හැරෙයි.

"මේ දුව වැඩ කරන්නෙත් ලොකු පුතා වැඩකරන කොම්පැනියෙම තමා" අම්මා නැන්දාට පහදයි

"අයියේ අපේ මොලේ වැඩේ ඉතුරු පේමන්ට් එක තාත්තා දෙන්න කිව්ව. ගැනල ගන්න"

මම සල්ලි ටික ගන්නේ ඒ සුදු අත අතගාගෙනමය. ඈ මට ඔරවයි

අමුත්තන් සිටින බැවින් ඈ වැඩි වෙලාවක් නොරැදී යන්න යයි. ඊට පෙර පවුලේ උදවියට කතා කර ලකුණු ටිකකුත් දා ගනී. අයියා තමුන් සියල්ල දන්නා බැල්ම හෙලමින් මදෙසට මනමාල හිනාවක් පා කරයි.

මම සල්ලි ගනිමින් ගෙතුලට එන ගමන් මාමා ළඟ නැවතෙමි.

"මාමට කීයක්ද ඕනෙයි කිව්වේ"

12 comments:

  1. මාත් මේ දැංමම ලියන්න ඕනෑ ඔය වගේ කට බලියෙක් ගැන කතාවක්.

    ReplyDelete
  2. මරු ඕයි!!!කෙටි චිත්‍රපටියකට/ කෙටි නාට්‍යයකට හොඳ තීම් එකක්.

    ReplyDelete
    Replies
    1. කෙටි නාට්‍යයකට හොඳ තීම් එකක්//

      +++++

      Delete
  3. සුරං... අච්චම්ම ගැනද ලියාන්න හිතාන්නීන්නෙ?

    එළ කතාව රොටියෝ...
    අර අභි-secret එකත් ඉවරයක් කරහන්කෝ...

    ReplyDelete
  4. හික්ස්.. මාම සෙනිකව වාහනේ අරං පැනල ගියෙ නැතෙයි බං රොට්යො... හැක්... වහ වෙන්න ඇති නේ...
    අර නිහාල් නෙල්සන්ගෙ සිංදුවක් තියෙයි අහල තියේද මංද

    නෑයෝ වේයෝ මීයෝ කියල

    ReplyDelete
  5. මාමට කර කියාගන්න දෙයක් නැතිවෙන්න ඇති නේද:d

    මරු කතා පොඩ්ඩ...

    ReplyDelete
  6. වැරි ගුඩ් රොටිස්!

    ReplyDelete
  7. හි..හි... කටියගෙ මූණු මැවිලා පෙනුනා...

    ReplyDelete
  8. I like the rotty style! Way to go!

    ReplyDelete
  9. Read this twice.
    Views 50,000.
    Congradulations.!

    ReplyDelete